බන්ධනාගාරවල අධික තදබදයට කඩිනම් පිළියම් යෙදීම පිළිබදව සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) – බන්ධනාගාර ගත රැදවියන් රිමාන්ඩ් සිරකරුවන් සහ දඩ ගෙවීමට නොහැකිව සිරගත වී සිටින පුද්ගලයින් හේතුවෙන් බන්ධනාගාරවල ඇති වී තිබෙන අධික තදබදය සම්බන්ධයෙන් කඩිනම් පිළියම් යෙදීම පිළිබදව සාකච්ඡාවක් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) අධිකරණ මානව හිම්කම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

බන්ධනාගාර ගත රැදවියන් රිමාන්ඩ් සිරකරුවන් සහ දඩ ගෙවීමට නොහැකිව සිරගත වී සිටින පුද්ගලයින් හේතුවෙන් බන්ධනාගාරවල ඇති වී තිබෙන අධික තදබදය සම්බන්ධයෙන් කඩිනම් පිළියම් යෙදීම පිළිබදව 2019 දෙසැම්බර් මස 13 වන දින ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබු අතර ඒ අනුව අදාළ ගැටළුවට විසදුම් සෙවීම සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමු විය.

රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් රැදවියන් බන්ධනාගාර ගතව සිටින බව සාකච්ඡා විය.රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබා දීම සදහා අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධිකරණ අමාත්‍යවරයා මෙහිදී සදහන් කළ අතර චක්‍ර ලේඛ සංශෝධනය කර හෝ අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙස රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

විශේෂයෙන් මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරීමේදී ඔවුන්ට ලබා දෙන පුනරුත්ථාපනය විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ ලබාදීමටත් පුනරත්ථාපන ස්ථානවල වෘත්තිමය භාවය පරීක්ෂා කිරීම පිළිබදවත් අවධානය යොමු විය.

හෙරොයින් වැනි මත් ද්‍රව්‍ය පාවිච්චි කරනු ලබන පුද්ගලයින් හා මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලබන්නන් වෙන වෙනම හදුනා ගෙන ඔවුන් පුනරුත්ථාපනය කළ යුතු බවත් රැදවියන්ට ලබා දෙනු ලබන පුහුණුවීම් ඔවුන් යොදවන කාර්යයට අනුව ලබා දිය යුතු බවත් සාකච්ඡා විය.

බරපතල ගණයේ ඇතැම් අපරාධ සිදු වු විට ඊට බන්ධනාගාර තුළ සිටින රැදවියන් දුරකථන ඇමතුම් ලබා දුන් අවස්ථා ද ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් එහිදී පෙන්වා දුන් අතර ඒ පිළිබදව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් එවැනි කටයුතු සම්පුර්ණයෙන්ම නතර කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

විවිධ හේතුන් මත අධිකරණ මගින් ඇප ලබා නොදීම, ඇප ලබා දී ඇතත් ඇප කොන්දේසිවල ඇති දැඩි භාවය හේතුවෙන් ඇප තබා ගැනීමට නොහැකිව රදවා සිටින සැකකරුවන්, රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම ,පොලිස් පරීක්ෂණ අවසන් නොවීම නිසා ඇප ලබාදීමට පොලිසිය විරුද්ධ වීම වැනි විවිධ කරුණු හේතුවෙන් බන්ධනාගාර තදබදය වැඩී වි ඇති බවට එහිදී අනාවරණය විය.

මේ සියලු කරුණු සදහා කඩිනමින් අවශ්‍ය විසදුම් ලබාදීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා මෙහිදි අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මහෙස්ත්‍රාත් අධිකරණයන්හි ඇති තද බදය යම් ප්‍රමාණයකින් අවම කිරීම සදහා දැනට කම්කරු ආඥා පනත යටතේ මුදල් අය කර ගැනීම සදහා කරනු ලබන ඉල්ලීම් පෙර පරිදිම කම්කරු විනිශ්චය සභාවන්ට යොමු කිරීම සුදුසු බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.කම්කරු විනිශ්චයකාරවරුන් 35 දෙනෙක් ඇති බවත් එම අධිකරණයන්හි තදබදයක් නොමැති හෙයින් මීට පෙර මෙවැනි නඩුකරයන් විසදීම ඔවුන්ට ලබා දුන් බලතල නැවත ලබාදීම පිළිබදව අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටියේය.

දරුණු අපරාධකරුවන් පාතාල කටයුතු වලට සම්බන්ධ පුද්ගලයින් හා මහා පරිමාණයේ ජාවාරම්කරුවන් විවිධ බන්ධනාගාරවලට මාරු කිරීම නඩු සදහා තැනින් තැනට ගෙන යාම ඔවුන්ගේ මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ ද ආරක්ෂාවට බලවත් තර්ජනයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා නඩු විභාගයට නොගෙන කැදවීමේ දිනයන් හිදී විනිශ්චයකාරවරයෙකු බන්ධනාගාරයට ගොස් එම නඩු කටයුතු කිරීමත් ස්කයිප් තාක්ෂණය ඔස්සේ නඩුකරයන් සදහා දින ලබාදීමත් ප්‍රායෝගික බව පෙන්වා දුන්නේය.

ලොව අපරාධ අඩුවෙන්ම සිදු වන රට වන සිංගප්පුරුවේ වසරකට 40 ක් පමණ මරණ දඩුවමට ලක් කරන බව සාකච්ඡා වු අතර ඒ අනුව දරුණු ගණයේ මත් ද්‍රව්‍ය ජාරම්කරුවන්ට මරණ දඩුවම ලබාදීම සම්බන්ධයෙන් කරුණු සොයා බලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම පිළිබදව සාකච්ඡා විය.

ප්‍රජා පාදක විශෝදන දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය පිළිබදව අධිකරණ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩ සටහන් විනිශ්චයකාරවරුන් පුහුණු කිරීමේ ආයතනය හරහා දියත් කරන ලෙසත් එම දෙපාර්තමේන්තුවේ ප්‍රජා විශෝදන ක්‍රියාවලිය පිළිබදව රජයේ නිලධාරීන් හා මහ ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහන් සංවිධානය කරන ලෙසත් අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදීම සිදු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *