ආසියාවේ අනාගතය ගෝලීය සම්මන්ත්‍රණයේ දී ජනපති ගෝඨාභයගේ සහභාගීත්වය කැපී පෙනේවි

(කොළඹ, ලංකාපුවත්) – “ආසියාවේ අනාගතය” ගෝලීය සම්මන්ත්‍රණයේ දී නව අදහස් එක් කරන දකුණු ආසියාවේ ප්‍රමුඛ නායකයකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වය කැපී පෙනෙනු ඇතැයි ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා පැවසීය.

ජනාධිපතිතුමාගේ චාරිකාව සාර්ථක සහ ඵලදායී එකක් වනු ඇති බවට ජපාන රජය සහතික වන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා ඊයේ (17) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ එසේ කියා සිටියේය.

මැයි 28 සහ 29 දෙදින ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන “ආසියාවේ අනාගතය” ගෝලීය සම්මන්ත්‍රණයට ජනාධිපතිවරයාට ඇරයුම් ලැබ සිටින අතර ආසියා ශාන්තිකර කලාපයේ රාජ්‍ය නායකයෝ, ව්‍යාපාරිකයෝ සහ බුද්ධිමත්හු මේ සම්මන්ත්‍රණයට සහභාගී වෙති.

සමෘද්ධිමත් කලාපයක් නිර්මාණය කිරීමේ අරමුණින් වාර්ෂිකව පැවැත්වෙන සම්මන්ත්‍රණය 1995 වර්ෂයේ දී ඇරඹිණි.

ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා සමඟ පැවැත්වෙන සාකච්ඡාවේ දී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට ඉවහල් වනු ඇතැයි පැවැසූ තානාපතිවරයා ජපාන ව්‍යාපාරික ප්‍රජාව අතර හමුව ද ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් වනු ඇතැයි කීවේය. ජාතික රූපවාහිනිය ඩිජිටල්කරණය, කොළඹ වරාය උතුරු පර්යන්තය සහ යෝජිත ස්වභාවික ද්‍රව වායු ව්‍යාපෘතිය පිළිබඳව ද සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *