මහා ශිව රාත්‍රි දින අදයි

(කොළඹ, ලංකාපුවත්) –මහාශිව රාත්‍රී දිනය අදට(21) යෙදී තිබේ.

ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ ධාර්මික මංගල්‍යය මෙයයි.

රාත්‍රි නිදි වර්ජිතව උපවාසයේ යෙදී ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් තමන්ට විමෝක්ෂය ලැබෙන බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.

මහා ශිව රාත්‍රිය නිර්මාණය වූ ආකාරය පිළිබඳ හිව්දු ඉතිහාසයේ දේව කථාවල විවිධ මති මතාන්තර පවතී.

ඉන් එකක් වන්නේ ශිව දෙවියන්ගේ 02වන බිසව වන පාර්වතී දේවිය ඇගේ අත්වලින් ශිව දෙවියන්ගේ දෑස් වැසූ බවත් එවිට මුළු ලෝකයම අන්ධකාර වී සියලු ජීවීන් පීඩාවට පත්වූ බවත්ය. එවිට සෙසු දේවතාවන් ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වූ බවත් ඉන් අනතුරුව අඳූර දුරුවී ආලෝකය උදා වූ බවත් සදහන් ය. එතැන් පටන් එම දිනය ශිව රාත්‍රිය යනුවෙන් හැදින්වේ.

අද දිනය හින්දු බැතිමතුන් ශිව දෙවියන් ගැන සිහිකර නිරාහාරව උපවාස කරමින් කාලය ගත කරයි. මෝහාන්ධකාරය දුරු වී ප්‍රඥලෝකය දැල්වේවායි ප්‍රාර්ථනයෙන් යුතුව අද රාත්‍රිය පුරා හින්දු භක්‌තිකයෝ උපවාසයේ යෙදෙමින් පුණ්‍ය ක්‍රියාවල නිරත වෙති.

එලෙස ශිව රාත්‍රිය අර්ථවත්ව ගත කිරීමෙන් අධ්‍යාත්මික විමුක්‌තිය උදා වන බව ඔවුන්ගේ විශ්වාසය වේ. මහා ශිව දෙවියන්ගේ නර්තනය සිදු වූ රාත්‍රිය ද මෙදින බව ඔවුන්ගේ විශ්වාසයයි.

ශිව දෙවියන් උදෙසා ශිව මන්ත්‍ර ගායනා කිරීමද හින්දු නිවෙස්වල අනිවාර්ය අංගයකි.

හින්දු දේවාල වෙත ගොස් එහි ස්ථාපිත ශිව ලිංගය කිරිවලින් නැහැවීම ද හින්දු බැතිමතුන් අද දවසේ දී සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *