අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස ගෙන්නයි

(කොළඹ, ලංකාපුවත්) – පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලංකා සතොස හරහා ආනයනය කිරීමට රජය තීරණය කරයි.

ඒ අනුව එළඹෙන උත්සව සමයේ දී රටේ පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මේ පියිවර ගෙන තිබෙන අතර ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉදිරියේ දී ලංකා සතොස හරහා ආනයනය කිරීමට තීරණය කළ බව අභ්‍යන්තර වෙළඳ සහ පාරිභෝගික සුබසාධන රාජ්‍ය ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

පෞද්ගලික වෙළෙඳුන් විසින් ඔවුන්ට අවශ්‍ය පරිදි වෙළෙඳපල තුළ මිල ගණන් ඉහළ නංවන බව පෙන්වාදුන් ඇමැතිවරයා මේ තත්ත්වය තුළ පාරිභෝගිකයන්ට විවිධ ගැටලු ඇතිවන බවද ඒ හේතුවෙන් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා වගකිව යුතු රජයක් වශයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස හරහා ආනයනය කිරීමට පියවර ගෙන තිබෙන බවද සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් අනුව පාරිභෝගිකයන්ට නිරන්තරයෙන් සහන සැලසීම සඳහා කටයුතු කරන බවද සඳහන් කළ අභ්‍යන්තර වෙළඳ සහ පාරිභෝගික සුබසාධන රාජ්‍ය ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලංකා සතොස හරහා ආනයනය කිරීම තුළ පාරිභෝගික ජනතාවට සහන මිලට ලබාදීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළකළේය. එළඹෙන උත්සව සමයේ දී පාරිභෝගික ජනතාවට සහන ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් වෙළෙඳ අමාත්‍යාංශයේ දී ඊයේ(25) පැවැති අතර ඒ සඳහා මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධන සහ අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන ඇමැති චමල් රාජපක්ෂ මහතා සහ අමාත්‍යාංශ ලේකම්, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති සහ ලංකා සතොස සභාපති ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *