ඇමතිවරුන්ටත් ඉලක්කගත වැඩපිළිවෙළක් දිය යුතුයි

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය ආයතන සභාපතිවරුන්ට පමණක් නොව ඇමැතිවරුන්ටත් ඉලක්කගත වැඩපිළිවෙළක් ලබාදිය යුතු බව උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ(25) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ව්‍යාපාරිකත්ව හා කළමනාකරණ ආයතනය මඟින් සංවිධාන කර තිබූ ‘සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරා‘ තුන්වන ජාතික රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන උපාය මාර්ගික සමුළුව අමතමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

අපි දන්නවා නිදහස ලැබුණාට පසුව මේ රටේ දළ දේශීය නිෂ්පාදිතය මහින්ද රාජපක්ෂ මැතිතුමා රට භාර ගන්න තෙක් ම තිබුනේ ඇමෙරිකානු ඩොලර් බිලියන 20ට අඩු ප්‍රමාණයක්. නමුත් එතුමා යුද්ධය අවසන් කරලා රට කඩිගුලක් වගේ වැඩ කරන තත්ත්වයට පත් කරලා 2014 රට යහපාලනයට බාර දෙනවිට එකී ඩොලර් බිලියන 20ක ප්‍රමාණය 80 දක්වා වැඩි කරලා තිබුණා. ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම් ලබන රටක් බවට එතුමා පත් කළා. නැවත වතාවක් යහපාලනයට රට බාර දීමෙන් පස්සෙ සිදු වුණේ රට කඩාගෙන වැටෙන එකයි ඒ අය අවුරුදු 04 ½ට ම වැඩි කළේ 9%ක් පමණයි. ඒ අයගේ නොහැකියාව නිසා දැන් රට ම විඳවනවා. මේ තත්ත්වයෙන් රට ගොඩ ගන්නට අපි කටයුතු කළ යුතු යි. ඒ සඳහා මෙවන් සමුළුවක වටිනාකම විශාල යි.

ඒවගේ ම මෙතැන සිටින රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්න කැමතියි මහජන නියෝජිතයන්ගේ හඬටත් කන් දීලා සහයෝගයෙන් කටයුතු කරන්නට කියලා. මහජන නියෝජිතයන් කරන්නේ ජනතාවගේ හඬ නියෝජනය කිරීම බව සිහිපත් කරන්නට කැමතියි. අපි සියලු දෙනා බැඳී සිටින්නේ මේ රටේ ජනතාව වෙනුවෙන් සේවය කරන්නට. එබැවින් මේ ආයතනවල කළමනාකරණය පිළිබඳ සැලකිළිමත්වන අතර ම ඒ පිළිබඳත් අවධානය යොමු කරවන්නට කැමතියි.

මෙම අවස්ථාව සඳහා හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, වරාය නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම, කොළඹ ව්‍යාපාරිකත්ව සහ කළමනාකරණ ආයතනයේ නිර්මාතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර, වරාය අධිකාරියේ වර්තමාන සභාපති හිටපු හමුදාපති මේජර් ජෙනරල් (විශ්‍රාමික) දයා රත්නායක ඇතුළු රාජ්‍ය ආයතන රැසක සභාපතිවරු, අධ්‍යක්ෂ ජෙනරාල්වරු සහ නිලධාරීහු රැසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *