ගුරුවරුන්ට නව වැටුප් තලයක්

(කොළඹ, ලංකාපුවත්) –ගුරු වැටුප් පහත හෙළීමට පසුගිය සියලු ආණ්ඩු ගෙනා චක්‍ර ලේඛ අහෝසි කර ගුරුවරුන්ට සාධාරණ වැටුප් තලයක් හිමිකර දීමට රජය සැරසෙයි.

ගුරුවරුන්ට අභිමානයෙන් ජීවත්විය හැකි සාධාරණ වැටුපක් හිමිකරදීම සඳහා වන අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා අද (26) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගුරුවරයාගේ වැටුප පහත හෙළීමට පසුගිය සමයේ සියලු ආණ්ඩු ගෙනා චක්‍රලේඛ අහෝසි කර ගුරුවරයාට අභිමානයෙන් ජීවත් විය හැකි සාධාරණ වැටුප් තලයක් ලබා දීම සඳහා අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා අද (26) කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය පැවැසුවාය.

විදුහල්පති සහ ගුරු වැටුප් විෂමතා ගැටලුව වර්තමානයේ එම වෘත්තිකයන්ට බලපා ඇති බරපතළම ගැටලුව බව කී හඳපාන්ගොඩ මහත්මිය, 1994 එවකට අධ්‍යාපන ඇමැති රිචර්ඩ් පතිරණ මහතා ගෙනා ගුරු සේවා ව්‍යවස්ථාව අනුව ඉතා හොඳ ගුරු සේවාවක් ස්ථාපිත කර ගුරුවරුන් ඉහළ වැටුප් තලවල පිහිටුවූවද, පසුව බලයට පත් වූ ආණ්ඩු විටින් විට ගෙනා චක්‍රලේඛ හේතුවෙන් ගුරුවරයාගේ තත්ත්වය පහත වැටුණු බව ද පෙන්වා දුන්නාය.

බැසිල් රාජපක්ෂ මහතා සමඟ තම සංගමය පසුගිය දා කළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කර ඔවුන්ට සාධාරණයක් සිදුකිරීමට ඒ මහතා භාර ගත් බවද, ඒ අනුව මේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කෙරෙන බව ද පැවැසුවාය.

තම සංගමය කළ ඉල්ලීම්වලට අනුව වත්මන් රජය යටතේ මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට හැකිව තිබෙන බව පැවැසූ හඳහාපන්ගොඩ මහත්මිය, සියලු ගුරුවරුන් උපාධිධාරීන් බවට පත් කිරීම සඳහා රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවද, ප්‍රාථමික පන්තිවලට ගුරු සහායකයන් පත් කිරීම කෙරෙහි ද අවධානය යොමුව ඇති බවද කීවා ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවේදී වසන්තා හඳපාන්ගොඩ මහත්මිය මේ බව පැවැසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *