දේශීය අවශ්‍යතාව මත පදනම්ව සංහිඳියාවට කැපවෙනවා

(කොළඹ, ලංකාපුවත්) – 30/1 සහ 40/1 යෝජනා සඳහා සම අනුග්‍රහයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාව ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් කනස්සල්ල ප්‍රකාශ කිරීමට එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් මිචෙල් බැච්ලට් ගත් ක්‍රියා මාර්ගයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සිය දේශීය අවශ්‍යතාව මත පදනම්ව සාමය සහ සංහිඳියාව සඳහා කැපවන අතර එක්සත් ජාතීන්ගේ ආයතන සමඟ තවදුරටත් සමීපව කටයුතු කරන බවයි.

මෙහිදී වැඩිදුරටත් කතා කළ ඒ මහතා…

පසුගිය මහ මැතිවරණයේ දී රටේ වෙනස් මඟක් ඇති කිරීමට මහජනතාව පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කිරීමට ජනවරමක් ලබාදුන් බව මම සිහිපත් කරන්න කැමැතියි. ඒ අනුව රටේ ජනතාවගේ අභිලාෂය සැලකිල්ලට ගනිමින් මෙන්ම, නොබැඳි මැදිහත් විදෙස් ප්‍රතිපත්තියට අනුව, නව න්‍යාය පත්‍රයක් ඔස්සේ, දේශීය ක්‍රමවේදයක් මත පදනම්ව, ආරක්ෂාව සහ සංවර්ධනය තුළින් සියලු ජනතාවගේ යහපත උදෙසා සංවර්ධනය හා සමගිය තහවුරු කිරීමට ශ්‍රී ලංකා රජය කැප වී සිටිනවා.

“අපේ රට තවදුරටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනිකුත් ආයතන සමග සහයෝගයෙන් කටයුතු කරන බව මම අපේ තීරණය විවේචනය කරන පාර්ශ්වයන්ට වැඩිදුරටත් පවසන්න කැමැතියි. එමෙන්ම දේශීය ප්‍රතිපත්ති සහ අභිලාෂයන් මත පදනම්ව මානව හිමිකම්, සංහිඳියාව සහ තිරසාර සාමයක් උදාකර ගැනීමට අපි පියවර ගන්නවා“ යැයි ද ඔහු එහිදී කීවේය.

මෙහිදී මහකොමසාරිස්තුමියගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවෙන් මතුකර ඇති චෝදනා ප්‍රතික්ෂේප කළ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එම වාර්තාවෙන් නඟන යුද අපරාධ චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි පදනමක් නොමැති බවයි. මේ අතර ශ්‍රී ලංකාවේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් ගැන පරීක්ෂා කිරීමට තවත් විමර්ශන කොමිසමක් පත් කිරීමට ශ්‍රී ලංකාව ගෙන ආ යෝජනාව මහකොමසාරිස් මිචෙල් බැච්ලට් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සිදු වූ අතීත සිදුවීම්වල වගවීම සම්බන්ධයෙන් මෙතෙක් පැවැති දේශීය ක්‍රියාවලිය අසමත් වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් තවත් විභාගයක් පැවැත්වීම ප්‍රමාණාත්මක විභාගයක් වනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *