කොළඹින් බැහැර ප්‍රථම මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – යම් ප්‍රවෘත්තියක් සංවේදී වුවද ඉන් රටට හානියක් සිදුවන්නේ නම් එය පළකරන්නේ ද නැද්ද යන්න දෙවරක් මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සිතිය යුතු යැයි සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

රටක වැරදි දේ පෙන්වාදීම මෙන්ම සංවර්ධනයන් ද පෙන්වා රට ඉදිරියට ගෙන යෑමට ශක්තිය ලබාදීමටද මාධ්‍යයට යුතුකමක් ඇති බව හෙතෙම කීවේය.

ප්‍රාදේශීය මධ්‍යවේදීන් සඳහා කොළඹින් බැහැරව ස්ථාපිත කළ ප්‍රථම මාධ්‍ය මධ්‍යස්ථානය මාතර ප්‍රධාන බස්නැවතුම් පොළේ පළමු මහලේ දී ඊයේ(01) විවෘත කිරීමෙන් පසු පැවැති උත්සව සභාව අමතමින් රාජ්‍ය ඇමැතිවරයා එසේ කියා සිටියේය.

ඇතැම් ප්‍රවෘත්තිවලින් පෙන්වන දේ කුඩා දරුවන් අත්හදා බැදීමට යෑම නිසා ප්‍රශ්න ඇති වූ වාර අනන්ත බවත් ඒ පිළිබඳ සැලකිලිමත්ව සිදුකිරීමෙන් එවැනි දේ වළක්වා ගත හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තිය පහසුවෙන් කරගෙන යෑම සඳහා ලේක්හවුස් පරිශ්‍රයේ මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සලසා දුන්න ලේක්හවුස් සභාපතිවරයට, නීති අධ්‍යක්ෂකවරයට සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයට මගේ ස්තූතිය පිරිනමනවා. මෙම මාධ්‍යවේදීන් පසුගිය දිනක හමුවී කතාබහ කළ වෙලාවේ මම ඔවුන්ට පොරොන්දු වුණා හැකි ඉක්මනින් මාධ්‍ය මධ්‍යස්ථානයක් සකස් කරල දෙනවා කියලා. ඊට පසු දිනම ලේක්හවුස් සභාපතිවරයට, නීති අධ්‍යක්ෂකවරයට සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල්වරයට මම කතා කරලා කිව්වා මේ දේ කඩිනමින් කරල දෙමු කියලා. එදා ඉඳලම අපේ ඒ ආයතන දෙකම තමන්ගේ දෙයක් වගේ උනන්දුවෙන් එය ඉටු කළා. අපි මීටත් වඩා නවීකරණය කරන්න තමයි හිතන් හිටියේ. ඒ සඳහා පෞද්ගලික අංශයෙන් ලක්ෂ 16 ක ඇස්තුමේන්තුවක් ඉදිරිපත් කළා. එහෙත් මේ වෙලාවේ එවැනි දෙයක් කරන්න බැරි නිසා ලේකහවුස් ආයතනයෙන් ඉතා අඩු මුදලක් වැය කරලා තමයි මෙය සකස් කර දුන්නේ. දැන් මෙතන වැඩ කරගෙන යෑමේදී ඇතිවන අනෙක් අපහසුතාවයන් අපිට කියන්න. එවිට අපිට පුළුවන් ඔබට අවශ්‍ය විදියට ඒ පරිසරය නිර්මාණය කර දෙන්න. මම දන්නවා මාතර ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැඩි පීඩාවන් මැද තමයි තමන්ගේ වෘත්තිය කරගෙන ගියේ. අද නෙවෙයි 1980 ගණන්වල, ඒ කියන්නේ භීෂණය කාලයේ දී පවා එහෙම තමයි ඔවුන් වැඩ කළේ. මම දන්නවා පසුගියදා මිය ගිය සුරේන්ද්‍ර මහත්මයා පුදුම දුකක් වින්දා තමන්ගේ වාර්තාකරණය කරන්න. ඔහුට පොඩි කැමරාවක් තිබුණේ. අපි එක්ක කඳු නැගලා, පයින් ගිහින්ලා තමයි වාර්තා සිදුකළේ. එකයි මම කිව්වේ එදා හිටිය මාධ්‍යවේදීන් ගොඩක් අපහසුතාවයන් මැද ඔවුන්ගේ වෘත්තිය කළේ කියලා. මෑත ඉතිහාසයේ තමයි නව පහසුකම් ඇති වුණේ. මේ මම මාධ්‍යවේදීන් සමඟ කටයුතු කරන හතර වැනි වතාව. හැම රජයක්ම ආවම මාධ්‍ය විෂය ටික කලකට හෝ මගේ වටේ කැරකෙනවා. ඒ නිසා මම මාධ්‍ය හොඳට හඳුනනවා. හැබැයි එදා වගේ නෙවෙයි අද මාධ්‍ය ප්‍රබලයි.

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව් දයාරත්න මහතා-

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පහසුකම් සලස්වන්න ලේක්හවුස් ආයතනය තෝරා ගැනීම පිළිබඳ මගේ ස්තූතිය පුදකර සිටිනවා. මොකද අතීතයේ සිට අපේ ආයතනයෙන් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් විශාල වැඩකොටසක් කරලා තිබෙනවා. ඔවුන් වෙනුවෙන් හැදුනුම්පතක් දීලා තිබෙනවා. ඒ වගේම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් දිනමිණ, ඩේලි නිව්ස් පුවත්පත්වල වෙනම ම පිටු හතරක් වෙන් කරන්න කටයුතු කළා. එවැනි විශාල කාර්යයක් කරන්න අපිට හැකිවෙලා තිබෙනවා. අනෙක් කාරණය තමයි ලේක්හවුස් මාධ්‍යවේදීන්ට පමණත් නෙවෙයි අනෙක් සියලුම මාධ්‍යවේදීන්ටත් මෙතෙනට එකතු වෙලා වැඩ කරන්න ලබාදීම ගැන ඇමැතිතුමාට මගේ ස්තූතිය පුදකර සිටිනවා.

සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධර්මන් වික්‍රමරත්න, මාතර මාධ්‍යවේදියෝ සංගමයේ ලේකම් ජයසිරි පේදුරුආරච්චි මහත්වරුන් ද අදහස් දැක්වූ අතර ලේක්හවුස් ආයතනයේ නීති අධ්‍යක්ෂ රඛිත අබේගුණවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චන්දන බණ්ඩාර මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය මාධ්‍යවේදීන් රැසක් සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *