අධිකරණ නියෝග කැඩූ සිසුන් 22දෙනා තවදුරටත් රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) –අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සරසවි සිසුන් විසි දෙදෙනා ලබන 16 වනදා තෙක් තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන ස්වාමීන්වහන්සේ ඇතුලු විසි දෙදෙනෙකු මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණි.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතවූ භික්ෂූන් වහන්සේ දෙනමක ඇතුලු විශ්වවිද්‍යාල සිසුන් විසි දෙදෙනෙකු ඊයේ(01) අත්අඩංගුවට ගැනුණේ අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේය. ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලක්මාලි විජේතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. ඔවුන් ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.

රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පසුගිය බ්‍රහස්පතින්දා සිට සත්‍යග්‍රහයක නිරත විය. සිසුන්ගේ මෙම ක්‍රියාවලිය ජනතාවගේ දෛනික කටයුතුවලට බාධාවක් වන බවට පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමත් සමඟ එම ස්ථානයෙන් ඉවත් වන ලෙස අධිකරණය නියෝග කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *