(කොළඹ, ලංකාපුවත්) –ජනතාව අද වැඩකරන රටක් ඉල්ලා සිටින බවත්, වත්මන් රජය අද නිවාස අමාත්‍යංශය හරහා එය රටට සහ ලොවට පෙන්වා ඇති බවත් නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.
වත්මන් රජය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කිසිවකුගේ රැකියා අහිමි නොකළ බවත්, හිටපු නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොන්ත්‍රාත් පදනමින් ලබා දුන් පත්වීම් නිසා තරුණ තරුණියන්ට රැකියා අහිමි වු බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දිවයින පුරා නිවාස 14,022 ක් ඉදිකිරීමේ “ගමට ගෙයක් – රටට හෙටක්” ජාතික නිවාස වැඩසටහන යටතේ නිමකළ ප්‍රථම නිවස ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ (01) සහභාගී වෙමිණි. මෙම උත්සවය ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, ඔර්චඩ්වත්ත ග්‍රාමසේවා වසමේදී පැවැත්විණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, ජීවත්වීමට ස්ථීර නිවසක් නොමැතිව සිටින අඩුආදායම්ලාභී පවුල්වල නිවාස ගැටලු විසදීමේ අරමුණින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය සහ මග පෙන්වීම යටතේ දිවයින පුරා නිවාස 14,022 ක් ඉදිකිරීමේ “ගමට ගෙයක් – රටට හෙටක්” ජාතික නිවාස සංවර්ධන වැඩසටහන පසුගිය පෙබරවාරි මස 01 දින කුරුණෑගල, ගිරිබාවේදී ආරම්භ විය.
දින 60 ක් තුළ නිවාස ඉදිකර අවසන් කිරීමේ ඉලක්කයක් සහිතව මෙම වැඩසටහන ආරම්භ කළ නමුත්, දින 30 කට අඩු කාලයකදී පළමු නිවස අංගසම්පූර්ණව ඉදිකර අවසන් කිරීමට රජයට හැකිවීම විශේෂත්වයකි.
“ගමට ගෙයක් – රටට හෙටක්” ජාතික නිවාස වැඩසටහනේ පළමු නිවස ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයද ඉතා චාම් ආකාරයට සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාවට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සහ සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, ප්‍රාදේශීය දේශපාලඥයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.