දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට එන ගුවන් මගීන් වැඩි වෙයි

(කොළඹ, ලංකාපුවත්) – දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය. දකුණු කොරියාවේ මේ වනවිට මෙම කොරෝනා වසංගත රෝගය වඩාත් වේගයෙන් පැතිර යමින් පවතින බව එරටින් ලැබෙන තොරතුරු මඟින් අනාවරණය වේ .

ඒ අනුව 3/01 දින අලුයම 3.56 දකුණු කොරියාවේ ඉන්චියොන් සිට පැමිණි කොරියානු ගුවන් සේවයට අයත් කේ.ඊ.- 473 දරන ගුවන් යානයෙන් ගුවන් මගීන් 182 ක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම පිරිස අතරින් 137 දෙනෙකුම ශ්‍රී ලාංකිකයන් වීම විශේෂත්වයකි .

මේ ආකාරයට පසුගිය දින කීපය තුළ දී දකුණු කොරියාවේ සිට , පෙර පැවති තත්ත්වයට වඩා ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ලැබෙන බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .

එමෙන්ම මෙම ගුවන් යානයෙන් පැමිණි ශාරීර උෂ්ණත්වය 100F° වැඩියෙන් පැවති , උණ රෝගයෙන් පෙළුණු ගුවන් මගීන් දෙදෙනෙකු , කටුනායක ගුවන් තොටුපොළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය මඟින් හදුනා ගෙන , ඔවුන් විශේෂ ගිලන් රථ මඟින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කැර තිබේ .

කටුනායක ගුවන් තොටුපොළ වෙත විවිධ රටවල සිට පැමිණෙන සියලුම ගුවන් මගීන් ගුවන් තොටුපොළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ස්ථාපිත කර ඇති ස්වයංක්‍රීය උපකරණ මඟින් නිරන්තර පරීක්ෂාවට ලක්වේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *