පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය ජනපතිට

(කොළඹ, ලංකාපුවත්) –19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව වසර 4 ½ ක කාලසීමාවකින් පසුව වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය විධායක ජනාධිපතිවරයාට ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට හිමිවී තිබේ.

ඒ අනුව වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට්ටුව අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට කටයුතු සූදානම් කැර ඇතැයි තොරතුරු හා සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ මාතර දී සඳහන් කළේය. වසර 2015 අගෝස්තු 16 වැනිදා පැවති මහා මැතිවරණයෙන් ජයගත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුව එම වසරේ සැප්තැම්බර් 1 වැනිදා පළමුවරට රැස්විය. එදින සිට වසර 4 ½ ක ගත වූ පසු එය විසුරුවා හැරීමේ බලය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) උප වගන්තිය යටතේ විධායක ජනාධිපතිවරයාට බලය පැවරී ඇත.

ඒ අනුව වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පළමු අවස්ථාවේදීම සිදු කිරීම සඳහා අදාළ වූ ගැසට් පත්‍රය අද (02) නිකුත් කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය වසරේ නොවැම්බර් 17 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගෙන මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරීපත් විය. අනතුරුව නව කැබිනට් මණ්ඩලයක් සහ රාජ්‍ය හා නි‍යෝජ්‍ය අැමැති මණ්ඩලයක් පත්කොට අන්තර්කාලීන ආණ්ඩුවක් ගෙනයමින් සිටි. තවදුරටත් මේ ආණ්ඩුව යටතේ ඉදිරියට යාමට බලාපොරොත්තු නොවී නව ශක්තිමත් ජනවරමක් ලබාගනිමින් සෞභාග්‍යයේ දැක්මට අනුව රට ඉදිරියට ගෙන යෑමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අපේක්ෂා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *