කිසිදු අවස්ථාවක රටේ සම්පත් විකිණීමට හෝ පිටස්තරයින්ට ලබා දීමට සූදානම් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක රටේ සම්පත් විකිණීමට හෝ පිටස්තරයින්ට ලබා දීමට සූදානම් නැතැයි වාරියපොළ ,සුමංගල පිරිවෙනේ පැවති වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ ගුණසමරු වැඩසටහන අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ,

“අද අපි අනුස්මරණය කරන්නේ අපේ රටේ හිටපු වාරියපොල සුමංගල හිමියන්. උන්වහන්සේ තමයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව මුලින්ම සටන ආරම්භ කළේ. උඩරට ගිවිසුම අත්සන් කරපු
වෙලාවේ මහනුවර මගුල් මඩුවෙදී බ්‍රිතාන්‍ය පාලකයෝ ජාතික කොඩිය බිම දැමූ අවස්ථාවේ දී නැවතත් ධජය ඉහලට එසෙව්වේ වාරියපොල සුමංගල හාමුදුරුවෝ. උන්වහන්සේ අපේ
වීරවරයෙක් ලෙස මුළු ජාතියම සලකනවා.

ඒ පාවාදුන් ඓතිහාසික දිනය අදට වසර 205 වෙනවා. 18 කැරැල්ල වෙලාවෙදි උන්වහන්සේ දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කිරීමට දළදා මාලිගාවෙන් අරගෙන නිදහස් අරගලයේ නායකයා වූ කැප්පෙටිපොළට භාරදෙන්න යනවා. මාතලේ මුරපොළේදී අත්අඩංගුවට පත්වන උන්වහන්සේ රාජද්‍රෝහි වීමේ වරදට සිරගත කෙරෙනවා.

නිදහස් විමුක්ති සටනේ ආරම්භකයා වශයෙන් සැලකෙන්නේ වාරියපොල සුමංගල හිමියන්. ඉංග්‍රීසි හමුදාව උන්වහන්සේ යුද අධිකරණයට ඉදිරිපත් කරලා යාපනය සිර ගත කළ බව සඳහන් වෙනවා. එදා උන්වහන්සේ ආරම්භ කර විජාතිකයන්ගේ සටන තමයි අදත් අපේ හදවත් තුළ, ජාතියේ හදවත් තුළ රැඳී තිබෙන්නේ.

පසුගිය කාලයේ යුගයක් තිබුණා මේ රටේ සම්පත් ක්‍රමානුකූලව විදේශිකයන්ට විකිණීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා. අපි හම්බන්තොට හදපු වරාය වෙනත් රටකට වික්කා. පසුව එම්. සී. සී ගිවිසුම අත්සන් කරන්න සූදානම් වෙලා හිටියා. තිරිකුනාමලයේ සිට කොළඹ දක්වා රේඛාවක් ඇන්දම ඒ දෙපැත්තේ අක්කර දෙකහමාරක් ආර්ථික පටියක් විදේශිකයන්ට ලබා දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. අපේ රජයට එය නවත්වන්න හැකියාව ලැබුණා. මේ විදිහට අපිට රට ගැන ජාතිය ගැන හැඟීමක් ජනිත කළේ වාරියපොල සුමංගල හිමියන්ගේ ක්‍රියාකලාපයයි. ඒක සමහරුන් අතර තවමත් නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 + eighteen =