පාර්ලිමේන්තුව විසුරුවයි – නව පාර්ලිමේන්තුව මැයි 14 රැස්වේ

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුව ඊයේ(02) මධ්‍යම රාත්‍රීයේ සිට විසුරුවා හැරිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමන්ට ලැබී ඇති විධායක බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ අති විශේෂ ගැසට් පත්‍රයට අස්සන් තැබීමෙන් අනතුරුව රජයේ මුද්‍රණාලය වෙත ඊයේ යොමුකර තිබිණි.

එම ගැසට් පත්‍රය මුද්‍රණාලය වෙත ලැබුණේදැයි මුද්‍රණාලාධිපතිණි ගංගානි ලියනගේ මහත්මියගෙන් කළ විමසීමේදී එම මහත්මිය සඳහන් කළේ තමන් වෙත එම ගැසට් පත්‍රය ලැබුණු බවත් එය මුද්‍රණය කිරීමට යොමුකළ බවත්ය.

වසර 2015 අගෝස්තු 17වැනි දා පැවැති මහා මැතිවරණයෙන් ජයගත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුව එම වසරේ සැප්තැම්බර් 01 වැනිදා පළමුවරට රැස්විය. එදින සිට වසර හතර හමාරක් ගත වූ පසු එය විසුරුවාලීමේ බලය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) උප වගන්තිය යටතේ විධායක ජනාධිපතිවරයාට බලය පැවරී ඇත.

නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා මැතිවරණය පැවැත්වෙන දිනය ලෙස අප්‍රේල් මස 25 වන දිනය නියම කර තිබේ.

ඒ අනුව මාර්තු මස 12 වන දින සිට මාර්තු මස 19 වන දින දහවල් 12.00 දක්වා පාර්ලිමේන්තු මැතිවරණය සදහා නාමයෝජනා කාලසීමාව ලෙස නම් කර තිබේ. සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දී නාමයෝජනා භාරගැනීම සිදුකිරීමට නියමිතය.

ඊයේ මධ්‍යම රාත්‍රියෙන් විසුරුවාහරින ලද පාර්ලිමේන්තුව යළි මැයි මස 14 වන දින රැස් වන බව ද අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *