මැතිවරණයෙන් පසු IMF සමඟ නව ආර්ථික පිළිවෙතක්

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) හා ගනුදෙනු කිරීමේ නව වැඩපිළිවෙළක් සඳහා ශ්‍රී ලංකා බලධාරීන් උනන්දුවක් දක්වා ඇති නමුත්, අප්‍රේල් මස මැද භාගයේ සිදුකිරීමට නියමිත සමාලෝචනයෙන් පසු නව මුහුණුවරකින් කටයුතු කිරීමට අපේක්ෂා කරයි.

මේ වසරේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකාව සමඟ නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේද යන්න පිළිබඳ වොෂිංටනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් IMF සන්නිවේදන දෙපාර්තමේන්තුවේ ජෙරී රයිස් පැවසුවේ ‘ මීළඟට පැවත්වීමට නියමිතව ඇත්තේ IMF ආධාර වැඩසටහනේ හත්වැනි සහ අවසාන සමාලෝචනය බවයි. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධවීමේ දිගු ඉතිහාසයක් අප සතුව පවතිනවා. මෑත කාර්ය මණ්ඩල චාරිකාව අතරතුර, අරමුදල සමඟ අනාගත කටයුතු සඳහා විකල්ප ගණනාවක් පිළිබඳ බලධාරීන් උනන්දුවක් දැක්වූ නමුත්, ඒ පිළිබඳ විශේෂතා අප්‍රේල් මස මැද භාගයේ ඊළඟ සමාලෝචනයෙන් පසුව සාකච්ඡා කරනවා.‘ යනුවෙන් ජෙරී රයිස් මාධ්‍ය වෙත පවසා ඇත.

රාජ්‍ය මූල්‍ය පසුබෑම සහ රාජ්‍ය මූල්‍ය හිඟය ඉහළ යෑම පිළිබඳ ගැටලුව හමුවේ මහ බැංකුව නව රජයේ ප්‍රතිපත්ති රාමුව යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නව වැඩපිළිවෙළකට අවතීර්ණවීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී. ලක්ෂමන් මහතා පැවසුවේ කොළඹ වාණිජ මණ්ඩලය මෑතකදී සංවිධාන කරන ලද 2020 වාර්ෂික ආර්ථික ඉදිරි දැක්ම සංසදයේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *