ධනංජය සහ නුවන් ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාට සහ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අහිමි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ, ඔවුන් දෙදෙනා ආබාධයන්ට ලක්වීම හේතුවෙනි.

කොදෙව්වන් සමග පසුගියදා පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී පන්දු යවමින් සිටින අතරතුර දී නුවන් ප්‍රදීප් පාදයේ ආබාධයකට ගොදුරු විය. ධනංජය ද සිල්වාගේ තත්ත්වය එතරම් බරපතල නොවන බවත්, ඔහුට එළැඹෙන 19 වැනිදා එංගලන්තය සමඟ ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවතින බවත් කණ්ඩායම් කළමනාකරු සහ තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා සදහන් කළේය.

ධනංජයගෙන් පුරප්පාඩු වන ස්ථානය සඳහා වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ නොකරන බව සඳහන් කළ තේරීම් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ නුවන් ප්‍රදීප්ගේ ස්ථානය සඳහා අසිත ප්‍රනාන්දුව කැඳවීමට පියවර ගෙන ඇති බවයි.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් 20යි 20 තරගාවලිය හෙට(04) පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *