(කොළඹ, ලංකාපුවත්) – චීන ජනාධිපති ආර්යා Peng Li Yuan මහත්මිය පසුගියදා(02) ශ්‍රී ලංකාවේ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් වෙත පිළිතුරු ලිපියක් යොමු කර තිබේ.
පසුගිය දා එම විද්‍යාලයේ සිසුවියන් 43 දෙනෙකු චීනය කොරොනා වසංගතයට එරෙහිව සිදු කරන සටනට සහය පළ කරමින්, ඒකාබද්ධ අත්සන් සහිත ලිපියක් සහ අතින් සිතුවම් කළ චිත්‍ර චීන ජනාධිපති ආර්යාව වෙත යොමු කර තිබිණ.
චීනය කොරොනා වසංගතය නිවාරණය කරමින් සිටියදී එවන් ලිපියක් හා චිත්‍ර ලබා ගැනීමෙන් ශ්‍රී ලාංකික ජනතාව චීන ජනතාව කෙරෙහි දක්වන හිතෛෂීභාවය තමන්ටත් චීන ජනාධිපතිවරයාටත් හැඟුණු බව Peng Li Yuan මහත්මිය දේවි බාලිකා විද්‍යාල සිසුවියන්ට ස්තුතිය පළ කරමින් සිය පිළිතුරු ලිපියෙහි සඳහන් කළා ය. රෝගය මැඩපැවැත්වීමේ ප්රබලතම ශක්තිය වන්නේ සෙනෙහස බව ඇය කියා සිටී.
කොරොනා වසංගතය චීනයේ මතු වීමෙන් පසු ශ්‍රී ලාංකික සමාජයේ විවිධ පාර්ශ්වයන් චීනයට ලබා දී තිබෙන සහය Peng Li Yuan මහත්මිය සිය ලිපියෙන් සිහිපත් කරයි. චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින්නේ දිගුකාලීන මිත්‍රත්වයකි. එම මිත්‍රත්වයේ අනාගතය ශ්‍රී ලාංකික සිසුවියන් තුළින් දක්නට ලැබෙන බව ඇය පවසයි. කාලයේ වටිනාකම හඳුනා ගනිමින් අධ්‍යාපන කටයුතුවලට වැඩි අවධානය යොමු කරමින් චීන-ශ්‍රී ලංකා මිතුදමේ තරුණ දූතිකාවන් වන ලෙසට චීන ජනාධිපති ආර්යාව දේවි බාලිකා විද්‍යාලීය සිසුවියන් දිරිගන්වා ඇත.