රාජකීය ඔස්ට්‍රේලියා නාවික හමුදාවේ පැරමැටා නෞකාව කොළඹට

(කොළඹ, ලංකාපුවත්) – ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාවේ පැරමැටා (HMAS Parramatta) නෞකාව කොළඹට සේන්දු වෙයි.

මෙම නෞකාවේ නිලධාරීන් සහ නැවියන් 200 දෙනෙකු ලබන 07වනදා කොළඹට පැමිණේ.

දකුණු හා ගිනිකොනදිග ආසියාව තුළ ක්‍රියාත්මක මාස හතරක වැඩසටහනේ කොටසක් ලෙස එම නෞකාව කොළඹට පැමිණෙන අතර මෙමඟින් ශ්‍රී ලාංකික හා ඔස්ට්‍රේලියා නාවික හමුදා සාමාජිකයින්ට විවිධ තාක්ෂණික හා පුද්ගල මට්ටමේ ක්‍රියාකාරකම් තුළින් වෘත්තීය හා පෞද්ගලික සබඳතා වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාවන බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි. පැරමැටා නෞකාව ඔස්ට්‍රේලියා නාවික හමුදාව විසින් 2020 වසරේ දී ප්‍රථම වරට සමුද්‍රීය කටයුතු සඳහා යොදවන ලද නෞකාවක් වන අතර එය පසුගිය වසරේ ඉන්දු-පැසිෆික් 2019 අභ්‍යාසයේ සාර්ථකත්වය මත පදනම්ව ගොඩනඟන ලද්දකි.

නෞකාව කොළඹට සේන්දු වීම මඟින් ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් හා මිත්‍රශීලීව කටයුතු කිරීමට ඔස්ට්‍රේලියාව දක්වන දැඩි කැපවීම පෙන්නුම් කරයි.

ඉන්දු-පැසිෆික් ජාතීන් වශයෙන්, ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරය තුළ නීති රීති පදනම් කරගත් නිදහස්, විවෘත හා සර්වග්‍රාහී කලාපීය වැඩපිළිවෙලක් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කටයුතු කරමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *