එංගලන්තයට එරෙහි ටෙස්ට් සංචිතයට කුසල් ජනිත් කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක එංගලන්තය ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා වන සංචිතයට කඩුලු රකින මුල් පෙළ පිතිකරු කුසල් ජනිත් පෙරේරා කැඳවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ නිකුත් කළ මේ සංචිතයේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න නම් කර ඇති අතර කුසල් ජනිත්ගේ එක්වීමත් සමග ශ්‍රී ලංකා පිල අවසන් වරට සහභාගිවූ සිම්බාබ්වේ පිල සමග තරගාවලියට එක්ව සිටි ළහිරු තිරිමාන්නට සිය ස්ථානය අහිමිවී තිබේ.

මේ වනවිට ටෙස්ට් තරග 18කට ක්‍රීඩාකර ඇති කුසල් ජනිත් ශතක 2ක් සහ අර්ධ ශතක 4ක් සමගින් ලකුණු 934ක් රැස්කර තිබේ. පසුගිය වසරේ පෙබරවාරි මස දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යමින් රැස්කළ ලකුණු 153 ඔහුගේ ඉහළම ටෙස්ට් ඉනිම ලෙස වාර්තා පොතට එක්විය.

කොදෙව් පිල සමග පැවැති දෙවැනි විස්සයි20 තරගයේදී පන්දුවක් වැදී දකුණු අතේ මැදගිල්ලේ අස්ථී බිදීයෑමෙන් කුසල් ජනිත් ආබාධයකට ලක්වූ අතර පළමු ටෙස්ට් තරගයට පෙර ඔහු සුවය ලබනු ඇති බවට විශ්වාසය පළවී තිබේ.

තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග 16 දෙනකුගෙන් යුත් ටෙස්ට් සංචිතයට නම්කර තිබුණත් නිමාවූ බටහිට ඉන්දීය කොදෙව් පිලට එරෙහි අවසන් විස්සයි20 තරගයේදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන් මේ තරගාවලිය අහිමි වෙයි. ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයකු ආදේශ කර නොමැති අතර පළමු ටෙස්ට් තරගයට පෙර වනිඳු වෙනුවට වෙනත් ක්‍රීඩකයකු නම් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පවසයි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය මේ 19 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර දෙවැනි තරගය 27 වැනිදා සිට එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මෙසේය.

දිමුත් කරුණාරත්න (නායක), ඕෂද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත ඩිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්.‍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *