Uber Eats ශ්‍රී ලාංකේය කාන්තාවන් 1,000ක් සවිබල ගැන්වීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – Uber Eats මෙවර ලෝක කාන්තා දිනය වෙනුවෙන් ‘දිවියට දිරිය‘ වැඩසටහන තවත් පුළුල් කිරීමට කටයුතු යොදා ඇත. 2020 වසර තුල තම සේවා පදනම සමග සම්බන්ධ වී සිටින කාන්තාවන් සංඛ්‍යාව 100 සිට 1,000 දක්වා වැඩි කිරීම එහි ප්‍රධානතම අරමුණ වේ. මේ යටතේ කාන්තාවන්ට සහ අනෙකුත් අඩු පහසුකම්ලාභී ප්‍රජාවන්ගේ සාමාජිකයන්ට තම ආර්ථීක හැකියාවන් වැඩිදියුණු කරගැනීම සඳහා සමාන අවස්ථාවන් සලසා දීමට කටයුතු කෙරෙනු ඇත.

2018 ඔක්තෝබර් මාසයේදී ආරම්භ වූ ‘දිවියට දිරිය‘ වැඩසටහන මේ දක්වා Uber Eats සේවාවන් සඳහා සම්බන්ධ වූ කාන්තාවන් 100කට ආසන්න පිරිසකට මූල්‍ය ස්වාධීනත්වය අත්පත් කරගැනීමට උපකාරී වී ඇත. සමෝධානික ආර්ථීක වර්ධනයක් වෙනුවෙන් කැපවී සිටින Uber Eats නොමිලේ රක්ෂණ පිරිනැමීම, කාන්තාවන්ටම වෙන්වූ ක්ෂණික ඇමතුම් සේවාවක් හඳුන්වා දීම, සනීපාරක්ෂක විසඳුම් සැපයීම, අනාරක්ෂිත ස්ථාන සඳහා Geo-blocking තාක්ෂණයන් භාවිතා කිරීම සහ ආත්මාරක්ෂක සටන් පුහුණුව ලබාදීම වැනි විවිධ ක්‍රමවේද ඔස්සේ කාන්තාවන්ට ආර්ථීක ස්වාධීනත්වය ලඟා කරගැනීම සඳහා අත්වැලක් වී සිටී.

“මෙය කාන්තාවන් සහ ඔවුන් ලඟා කරගෙන ඇති සාර්ථකත්වය ඇගයීමට ලැඛෙන සුවිශේෂී අවස්ථාවක්. 2018 වසරේදී කාන්තාවන් දෙදෙනෙකුගෙන් ආරම්භ වූ දිවියට දිරිය වැඩසටහන, මේ වනවිට කාන්තාවන් 100කට අධික පිරිසක් සම්බන්ධ වී සිටිනවා. මෙය ඔවුන් ආර්ථීක ක්‍රියාවලියට පිවිසීම සඳහා තැබූ ප්‍රථම පියවර ලෙස හැඳින්වීමට පුළුවන්. මේ කාන්තාවන්ට සවන් දීම තුලින් අප ඔවුන්ට සැබැවින්ම අවශ්‍ය මොනවාද යන්න හොඳින් වටහා ගත්තා. ආත්මාරක්ෂක සටන් පුහුණුව ලබාදීමේ සිට මහමගදී සනීපාරක්ෂක විසඳුම් පිරිනැමීම දක්වා අප දිගින් දිගටම මේ පදනම ඔස්සේ ඔවුන්ගේ ජීවිත වඩාත් යහපත් කිරීමට කැපවී සිටිනවා“, Uber Eats Sri Lanka ප්‍රධානී භාව්නා දද්ලානි මහත්මිය පැවසුවාය.

ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ සමානත්වය ඇතිකිරීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අනුව, කාන්තාවන්ගේ මෙන්ම ඔවුන් අයත් වන සමාජයේ ජීවන තත්ත්වයන් නගාසිටුවීමට මහෝපකාරී වන ආකාරයේ නම්‍යශීලී ආර්ථීක අවස්ථා උදාකර දීමට ‘දිවියට දිරිය‘ වැඩසටහන උත්සාහ කරයි.

2018 වසරේදී ආරම්භ වූ Uber Eats සේවාව මේ වනවිට රට පුරා ව්‍යාප්ත වී ඇත. මූලික වශයෙන් දුරකථන ඇමතුම් භාවිතයෙන් ආහාර ගෙනගොස් භාරදීමේ සේවාව ක්‍රියාත්මක වූ වෙළඳපොළක තම සේවාවන් ආරම්භ කරමින් මේ වනවිට එම වෙළඳපොළේ ඉදිරියටම පැමිණීමට Uber Eats සමත් වී ඇති අතර, ශ්‍රී ලංකාව යනු Uber Eats සේවාව වඩාත්ම වේගයෙන් පුළුල් වෙමින් පවතින රටක් ලෙස සැලකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *