විගමණික ශ්‍රමික ප්‍රජාවට කතරගමින් නිවාඩු නිකේතනයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලැබූ විගමණිකයින්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් සුභසාධන තව තවත් පුළුල් කර නව දිශාවකට යොමු කරමින්, ඔවුන් වෙනුවෙන් ඉදිකෙරුණු නව නිවාඩු නිකේතනය පසුගියදා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා අතින් විවෘත කරන ලදී.

කතරගම, කඳසුරිඳුගම, රජ මාවතේ අක්කරයක පමණ භූමි භාගයක පිහිටි මෙම නිවාඩු නිකේතනය ගොඩනැගිලි ත්‍රිත්වයකින් සමන්විතය. ප්‍රධාන ගොඩනැගිල්ල තුළ විගමණික ප්‍රජාව සඳහා විශේෂ පහසුකම්වලින් සමන්විත, ඇඳන් 40 සහිත නවාතැන් පහසුකම් සලසා ඇත. මෙයට අමතරව විදේශ රැකියා ක්ෂේත්‍රයට සම්බන්ධ අය වෙනුවෙන්ද නවාතැන් පහසුකම් හා වාහන නැවතීමේ පහසුකම්ද ස්ථාපනය කර තිබේ.

මෙහි කණ්ඩායම් වශයෙන් සහභාගි වන විගමණික පවුල් සඳහා එකවර දසදෙනෙකුට නවාතැන් ගත හැකි කාමර හතරකින් හා තමන්ගේ අභිමතය පරිදි ආහාර සකසා ගැනීම සඳහා අවශ්‍ය අංග සම්පූර්ණ පහසුකම්ද මෙහි සමන්විතය.

මෙම අංග සම්පූර්ණ නිවාඩු නිකේතනය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 127ක් කාර්යාංශය වැය කර, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් ඉදිකිරීම් සිදුකර තිබේ.

කාර්යාංශයේ ලියාපදිංචි විගමණික ශ්‍රමිකයින්ගේ පවුල්වල සාමාජිකයින්ට ඉතා සහන මිළට මෙහි නවාතැන් පහසුකම් ලබාගත හැකි අතර, කාමර වෙන්කර ගැනීම කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීම මගින් හෝ දුරකථන අංක 0112-880500, 1989ට ඇමතීම මගින් ඉදිරියේදී සිදුකර ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *