කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට සහය වන්නැයි රජයෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරසය හෙවත් කෝවිඩ් 19 ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙම ඉල්ලීම කර සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙලෙස දැක්වේ.

මේ වන විට ලෝකය පුරා රටවල් රැසක් වෛරසය ව්‍යාප්ත වෙමින් පවතියි. එය පාලනයට රටවල් විධිවිධාන රැසක් ගෙන තිබේ.

කොරෝනා වෛරසය මෙරට දී ආසාධිත පළමු ශ්‍රී ලාංකිකයා ඊයේ (10) පස්වරුවේ හඳුනා ගැනුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 52 හැවිරිදි මොහු සංචාරක මග පෙන්වන්නෙකු ලෙස ක්‍රියා කළ අයෙක්. ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමකට ඔහු සේවාව සපයා තිබේ. රෝගියා නිරෝධායනයට ලක් කර ඇති අතර ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇතැයි, ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

සංචාරක කණ්ඩායම ගමන් ගත් ස්ථාන හා ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම ද ආරම්භ කර තිබේ.

රට තුළ කොරෝනා වෛරසය වැළැක්වීමට රජය විධිමත් සැලැස්මක් සහිතව පුළුල් වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඒ සඳහා ඊයේ (10) සිට දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානයේ සිට පැමිණෙන අය නිරෝධායනය කිරීම ආරම්භ කෙරිණ. එහෙයින් විදේශගතව පැමිණෙන අයගේ සහ ජනතාවගේ පූර්ණ සහය ගෙනයන වැඩපිළිවෙළට ලබාදෙන්නැයි රජය ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *