INNOTECH -2020 ප්‍රදර්ශනය නැරඹීමට විශාල පිරිසක්

(කොළඹ, ලංකාපුවත්) –හෝමාගම පිටිපන අධිතාක්ෂණ හා තාක්ෂණ නගර කලාප පරිශ්‍රයේදී අද(11) ආරම්භ කරන ලද “INNOTECH – 2020 තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය” නැරඹීමට පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

මෙම ප්‍රදර්ශනය අධ්‍යාපන කලාපය, නවෝත්පාදන කලාපය,පර්යේෂණ හා සංවර්ධන කලාපය වශයෙන් ප්‍රධාන කලාප 03ක් යටතේ සංවිධානය කර ඇත.

ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය, මිනුම් ඒකක සහ ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය, NSBM හරිත සරසවිය හෝමාගම, මහින්ද රාජපක්ෂ විද්‍යාලය ආශ්‍රිතව අක්කර 300 ක පමණ භූමිභාගයක මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ මගින් ඉදිරිපත් කරන ප්‍රදර්ශන හරිත සරසවි පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති අතර සියලු පාසැල් මගින් ඉදිරිපත් කරන නවෝත්පාදන ප්‍රදර්ශන, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රදර්ශන කුටිය, තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රදර්ශන කුටිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රදර්ශන කුටියඇතුළුව මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පන්ති කාමර 126 ක් ආශ්‍රිතව ප්‍රදර්ශන කුටි ස්ථාපිත කර ඇත. මෙහිදී පාසැල් 400 ක නව නිපැයුම් 1400 ක් පමණ ප්‍රදර්ශනයට තබා ඇත.

විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රදර්ශන කුටිය තුළ පාසැල් සිසුන්ට සේවාවන් රැසක් ලබා ගැනීමට අවකාශ සලසා ඇත. ඒ අනුව සහතික පත්‍ර නිකුත් කිරීමේ එක් දින සේවාව මගින් සහතික පත්‍ර ලබා ගැනීම, පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ඡායා පිටපත් මිළදී ගැනීම, පසුගිය වසරවල ඇගයීම් වාර්තා සහ මූලාකෘති ප්‍රශ්න ඇතුළත් පොත් නොමිලේ ලබා ගැනීම, සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේදී මාර්ග ගත(Online) ක්‍රමයට පිළිතුරු සපයන ආකාරය පිළිබඳ පෙරහුරුවක් ලබා දීම, ශ්‍රී ලංකාවේ පැරණි සහ වර්තමාන ප්‍රශ්න පත්‍රවල ස්වභාවය නිරීක්ෂණය කිරීම, දිවයිනේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගත් ශිෂ්‍යන්ගේ උත්තර පත්‍ර නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබා දී තිබීම ආදීය ඉන් කිහිපයකි.

මීට අමතරව අක්කර 58 ක පමණ භූමි භාගයක ස්ථාපිත කර ඇතිනැනෝ තාක්ෂණික ආයතන පරිශ්‍රයේ සියලු විද්‍යාත්මක කාර්මික පර්යේෂණ ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ප්‍රදර්ශන කුටි ස්ථාපිත කර ඇත.
මෙරට විශ්වවිද්‍යාල 15 ක සිසුන්ගේ නව නිපැයුම් සහ කෘෂිකාර්මික අංශ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ ප්‍රදර්ශන කුටි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සඳහා ඉදිකරන ලද මෙරට ප්‍රථම තාක්ෂණ විද්‍යාපීඨයේ ස්ථාපිත කර තිබේ.සියලුම විශ්වවිද්‍යාල සිසුන් විසින් කරන ලද නව සොයාගැනීම් පිළිබඳව තොරතුරු මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.
මිනුම් ඒකක සහ ප්‍රමිති සේවා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ප්‍රදර්ශන කුටි අතර ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය මගින් සංවිධානය කර ඇති ජංගම ග්‍රහලෝකාගාරය සහ එළිමහන් රාත්‍රී අහස නිරීක්ෂණය කිරීමේ කඳවුර කාගෙත් අවධානයට ලක් වූ විශේෂිත ප්‍රදර්ශන කුටියකි. මීට අමතරව විද්‍යුතය පිළිබඳ ප්‍රදර්ශන කුටිය, ස්කන්ධ පිළිබඳ විද්‍යාගාරය, දිග මැනීම පිළිබඳ විද්‍යාගාරය, උෂ්ණත්වය පිළිබඳ විද්‍යාගාරය, පීඩනය පිළිබඳ විද්‍යාගාර,රසායනික මිනුම් විද්‍යාගාරය ආදී වශයෙන් ප්‍රදර්ශන කුටි රැසක් මෙම පරිශ්‍රයේ ස්ථාපිත කර ඇත.

ප්‍රදර්ශනය අවසන් දිනයේදී (14) මෙම වැඩපිළිවෙල යටතේ හෝමාගම පිටිපන අක්කර 35 ක භූමි භාගයක ඉදිකර ඇති මෙරට ඉදිකරන ලද ප්‍රථම විශ්වවිද්‍යාල තාක්ෂණ විද්‍යාපීඨ ගොඩනැගිලි සංකීර්ණය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිසු අයිතියට පත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *