ප්‍රේක්ෂකයන් නොමැතිව ඔලිම්පික් ගිනිසිළුව දැල්වීමට තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) –ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වසරේ පැවැත්වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් පහන ප්‍රේක්ෂකයන් නොමැතිව දැල්වීමට තීරණය කර තිබේ. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.

චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වු නව කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා රටවල් රැසකට ව්‍යාප්ත වී ඇති අතර තරගාවලි රැසක් නවතා දැමීමට සහ කල් දැමීමට එය හේතුවී තිබේ.

ඒ අනුව මේ වසරේ ජපානයේ පැවැත්වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලටද මෙම නව කොරෝනා වෛරසයෙන් බාධා එල්ල විය හැකි බවට පසුගිය දිනවල විවිධ ආරංචි මාර්ග පැතිර ගියද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ එරට රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ නියමිත දිනයන්හිදී ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට කටයුතු සංවිධානය කරන බවයි.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ ජුලි මාසයේ ආරම්භ වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පහන දැල්වීම ප්‍රේක්ෂකයන් නොමැතිව සිදු කිරීමට තීරණය කළ බවයි. මෙලෙස ප්‍රේක්ෂකයන්ගේ සහභාගීත්වයෙන් තොරව ඔලිම්පික් ගිනිසිළුව දල්වනු ලබන්නේ වසර 35කට පසුව වීම විශේෂත්වයක්.

මීට පෙර 1984 වසරේ ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ ගිනිසිළුවද ප්‍රේක්ෂකයන්ගේ සහභාගීත්වයෙන් තොරව දල්වා ඇති බව වාර්තා වේ. ඒ අනුව මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව දැල්වීම මේ වසරේ ජුලි මස 24 වැනිදාට යෙදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *