උසස් පෙළ, 5 ශිෂ්‍යත්ව විභාග කල් දැමීමේ තීරණයකට ඇවිත් නෑ

(කොළඹ, ලංකාපුවත්) – මෙම වසරේ පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ හෝ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග කල් දැමීමේ තීන්දුවකට රජය එළැඹ නැතැයි අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

ඇතැම් සමාජ මාධ්‍ය ද්වේෂ සහගත ලෙස බොරු ප්‍රචාර පතුරවමින් සිටින බවත් එහෙත් අධ්‍යපන අමාත්‍යාංශය හෝ විභාග දෙපාර්තුමේන්තුව එවැනි තීරණයක් මේ වෙන තෙක් ගෙන නැතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවෙදී ඇමැතිවරයා කීවේය.

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල මාර්තු මාසයේ අග වන විට නිකුත් කිරීමට සැලසුම් කර තිබුණද කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ එය සැලසුම් කළ ආකාරයට සිදුකර ගැනීමට නොහැකි වුණු බව ඇමතිවරා පෙන්වා දුන්නේය.‍ ඇඳිරීනීතිය පැවැතියද ඉදිරි සතිය හෝ දෙක ඇතුළත ඊට අදාළ නිලධාරීන් ගෙන්වා ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදී අප්‍රේල් මස 30 වැනිදට ප්‍රථම සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බවද හෙතෙම කියා සිටියේය.

පාස්කු ප්‍රහාරයෙන් හා කොරෝනා වෛරසයෙන් යන සිදුවීම් දෙකෙන් ම මේ වන විට උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් බැට කා ඇති බවත් එහෙත් ඔවුන්ට සංවේදීව මිස පීඩනයක් ඇති වන කිසිදු තීරණයක් රජය නොගන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.

උසස් පෙළ විභාගය සමත්ව විශ්වවිද්‍යාල සඳහා අයදුම් කිරීමට සූදානම්ව සිටින දරුවන්ට ඒ සඳහා පාසලේන් ලබාගත යුතු සහතික මෙන්ම ඒවා සහතික කර ගැනීමට නොහැකි වී ඇති නිසා පාසල් ආරම්භ කළ දිනයේ සිට සති දෙකක කාලයක් විශ්වවිද්‍යාලවලට අයදුම් කිරීමට ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව තීරණය කර ඇති හෙයින් එම කාලය තුළ පාසලට පැමිණ අවශ්‍ය ලිපි ලේඛණ හා සහතික කිරීම් කඩිනමින් කරගන්නැයි දරුවන්ගෙන් ඉල්ලා සිටින බව පැවසීය.

අධ්‍යාපන ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

“සමහර වෘත්තීය සමිති කියලා තිබුණා ඒ අයගේ වර්ජනය නිසා තමයි අපි පාසල් නිවාඩු දුන්නේ කියලා. ලෝකය පුරා කොරෝනා වෛරසය පැතිරෙද්දි අපේ රටේ පළමු ආසාදිතය හමුවුණ දවසට පස්සේ දවසේම ප්‍රචාරයක් අරන් ගියා පාසල් දරුවෙක්ටත් එය හැදිලා කියලා. ඇතැම් සමාජ මාධ්‍ය බොරු ප්‍රචාරය කරමින් නැති කලබලයක් ඇති කරන්න උත්සහ ගත්තා. අපි සිදුවීම වෙලා පැය කිහිපයක් යන්න පෙර රජයක් විදියට තීරණය කළා දරුවන්ට පළමු වාරයේ දෙන්න තිබුණ නිවාඩුව කළින් ලබාදෙන්න. එහෙම නොකළනම් අද ඔය චෝදනා කරන පිරිසමයි අපිට පාසල් වැහුවේ නැහැ කියලත් චෝදනා එල්ල කරන්නේ.

අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව හරි දේ හරි වෙලාවට තීන්දු කරනවා. එහෙම නැතුව කව්රුවත් කිව්ව පළියට තීන්දු තීරණ ගන්නේ නැහැ. ඒ ගත්ත තීන්දු තීරණවල නිවැරැදිතාවය සියලුදෙනාම පිළිගෙන තිබෙනවා. ඒ වගේම මම සෑම රූපවාහනි හා ගුවන් විදුලි නාලිකාවකින්ම ඉල්ලා සිටිනවා ඔබේ කාලයේ කොටසක් දරුවන්ගේ අධ්‍යාපනය, විනෝදය වෙනුවෙනුත් ලබාදෙන්න කියලා.

මේ අවස්ථාවට ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුලු නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *