ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරු කොරෝනාට එරෙහි සටනේ

(කොළඹ, ලංකාපුවත්) – වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මෙන්ම ශ්‍රී ලාංකික ජන ජීවිතයද අසීරු තත්ත්වයකට පත්ව තිබෙන අතර අසරණ වූ ජනතාවට සහන සැලසීමට විවිධ ආයතන මෙන්ම පුද්ගලයන් ද එක් රොක්වී සිටි. ඒ අතර ශ්‍රී ලාංකික ක්‍රිකට් තරු රැසක් ද එම කටයුත්තට දායකත්වය සැපයීමට ඉදිරිපත්වීම කැපී පෙනේ.

හිටපු සුපිරි ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන උතුරු ප්‍රදේශය තුළ අවශ්‍යතා ඇති අයට වියළි සලාක පරිත්‍යාග කිරීමටත්, කෑගල්ල සහ රුක්මල්ගම ප්‍රදේශවල පවුල් 600කට වියලි සලාක ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමටත් පසුගියදා කටයුතු කළහ. මැග්නම් ආයතනය සමග එක්ව මේ කටයුත්ත සිදුකරන සංගා සහ මහේල පළමු දිනයේම වියළි සලාක පාර්සල් 5000ක් පමණ බෙදාදී ඇති අතර මේ කාර්යය අඛණ්ඩව පවත්වා ගෙන යාමට බලාපොරොත්තුවෙන් සිටී.

මේ අතර මේ වෛරසය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීතිය වැනි තත්ත්වයන් තුළින් එදිනෙදා වැටුප් උපයන්නන්ට සිදුව ඇති අපහසුතාවන්ට සහන සැලසීම සඳහා 96 ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් වන රොෂාන් මහානාම සහ චමින්ද වාස් එක්ව සිටිති. එදිනෙදා වැටුපට රැකියා කරන්නන්ට එම ආදායම් අහිමිවීම හේතු⁣වෙන් පත්ව ඇති දුෂ්කරතා සලකා බලා ඔවුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම සඳහා ආචාර්ය ක්‍රිෂාන් තලගහගේ මහතා ප්‍රමුඛ කණ්ඩායම විසින් ආරම්භ කළ වැඩසටහනට මහානාම සහ වාස් එක්ව ඇති අතර මේ සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හෝ මුදල් පරිත්‍යාග කරන ලෙස ඔවුන් මහජනතාවගෙන් ද ඉල්ලා සිටිති. සියළු පරිත්‍යාග ප්‍රිමියර් හෙල්ත්කෙයාර්, 282 A2, ගාලු පාර, ගල්කිස්ස යන ස්ථානයට ලබා දෙන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.

වත්මන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් වන වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් සහ හිටපු නායක දිනේෂ් චන්දිමාල් ද කොරෝනා වෛරසයට එරෙහි සටනට එක්වෙමින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා උපකාර කිරීමට කටයුතු කර තිබේ. ලක්මාල් ඔහු නියෝජනය කරන ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් සමග එක්ව අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 450කට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමට කටයුතු කර තිබිණි. චන්දිමාල් තලංගම කොස්වත්ත ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 60කට පමණ වියළි සලාක බෙදා දීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින නායක දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් වත්මන් ක්‍රිකට් කණ්ඩායම ද රෝහල් සඳහා අවශ්‍ය උපකරණ ඇතුළු ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබිණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද පසුගියදා කොරෝනා වෛරසයට එරෙහිව රජය ගොඩනගා ඇති අරමුදලට රුපියල් මිලියන 25ක් පරිත්‍යාග කළ අතර හිටපු සුපිරි දඟ පන්දුයවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ද රුපියල් මිලියන 5ක මුදලක් පරිත්‍යාග කර තිබේ.

පාකිස්තානයේ සිට පැමිණි රොෂාන් මහානාම සහ එංගලන්තයේ සිට පැමිණි කුමාර් සංගක්කාර ස්වයං නිරෝධායනයට යොමුවීමෙන් පසුව මේ කටයුතු සඳහා දායක වූහ. මේ සියලු ක්‍රීඩකයන් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩ නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තම නිවෙස්වලට වී සිටිමින් කොරෝනා මැඩපැවැත්වීමේ රජයේ වැඩපිළිවෙළට සහය දක්වන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *