‘කාන්තා හා ළමා අයිතිවාසිකම් හා ආරක්ෂාව 2020‘ මැයෙන් යුගශක්ති ආයතනය සංවිධානය කළ පාගමනට 7000 කට අධික පිරිසක්

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රජාවන් සවිබලගැන්වීම අරමුණු කරගත් සමාජ ව්‍යවසායකත්ව ආයතනයක් වන ‘යුගශක්ති‘ ආයතනය කාන්තා හා ළමා අයිතිවාසිකම් සුරැකීමේ හා ඔවුන් ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කිරීම සඳහා 2020 පෙබරවාරි 15 දින යාපනයේදී විශේෂ පාගමනක් සංවිධානය කළේ ය.

එම පාගමනට 7000 කට අධික පිරිසක් සහභාගී වූ අතර ඉන් 90% ක් පමණම දරුවන් වීම විශේෂත්වයකි. මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් ලේකම් එන්. වේදනායහන්, ශ්‍රී ලංකාව සඳහා වන නවසීලන්තයේ කොන්සල් සේනක සිල්වා යන මහත්වරුන්ද යුගශක්ති ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනී සෙලීනා ප්‍රේම් කුමාර් මහත්මිය ද එක්වූ අතර පාගමන අවසානයේදී දරුවන් දෙදෙනෙකු විසින් දිස්ත්‍රික් ලේකම් තුමන් වෙත දෙමළ හා සිංහල භාෂා දෙකෙන්ම කාන්තා හා ළමා අයිතිවාසිකම් හා ආරක්ෂාව සුරැකීම පිළිබඳ සන්දේශයක් භාරදෙන ලදි.

මුට්‍රවෙලි සිට ආරම්භ වූ පාගමන යාපනයේ දුරෙයියප්පා ක්‍රීඩාංගණය දක්වා ගමන් කළ අතර එහිදී පිළිගැනීමේ කතාවද ස්තූති කථාවද දෙමළ හා සිංහල භාෂා දෙකෙන්ම දරුවන් විසින් සිදුකෙරිණ. කාන්තාවන්ට හා දරුවන්ට නිසි අයිතිවාසිකම් ලබාදීමේ සහ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පියවර ගැනීමේ වැදගත්කම අවධාරණය කිරීම මෙම පාගමනෙහි අරමුණ විය. විශේෂයෙන්ම කාන්තාවන් සවිබලගැන්වීමේ වැදගත්කම කෙරෙහි මෙම වැඩසටහනේදී මූලික අවධානයක් යොමුවී තිබුණි.

පවුල් වලට ආර්ථීක වශයෙන් ස්වාධීන වීමට හා සමාජයීය වශයෙන් සුරක්ෂිත වීමටත්, දරුවන්ට සුරක්ෂිත ළමා වියක් උරුමකර ගැනීමටත් හැකිවීමට නම් මුලින්ම කාන්තාවන් මුහුණ දෙන අභියෝග වලට සාර්ථක විසඳුම් ලබාදිය යුතුව පවතින බව මෙහිදී අවධාරණය කෙරුණු අතර ළමා ආරක්ෂාව හා සවිබල ගැන්වීම යථාර්ථයක් වීමට නම් මුලින්ම කාන්තාවන් සවිබල ගැන්විය යුතු බව පෙන්වා දෙන ලදි.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් යුගශක්ති ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනී සෙලීනා ප්‍රේම් කුමාර් මහත්මිය මෙසේ පැවසුවා ය. “දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ වැදගත්කම පෙන්වා දීම ඉලක්ක කරගනිමින් අප අපගේ ප්‍රථම පාගමන සංවිධානය කළේ මීට වසර 6 කට පෙරයි. කෙසේ වුවත් මුලින් සමාජයේ මවුවරුන් හා කාන්තාවන් සවිබල ගැන්වීම සිදුකළ හැකිනම් ඔවුන්ට තම දරුවන් ආරක්ෂා කරගැනීමට හැකිවන බව අපට පෙනී ගියා. බොහෝ කාන්තාවන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඇතුළුව බොහෝ හිංසනයන්ට මුහුණ දුන්නත් බිය නිසා හෝ සංස්කෘතික සීමාවන් නිසා ඒ ගැන කතා කිරීමට ඉදිරිපත් වන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ ගැටලූවලට විසඳුම් සෙවීමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව අපට වැටහුණා. මේ ආකාරයන්ට කාන්තා හා ළමා අයිතිවාසිකම් හා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ආරම්භ කලේ ඒ නිසයි.“

දිස්ත්‍රික් ලේකම් තුමන් වෙත භාරදුන් සංදේශයේ සඳහන් වූ කරුණු අතරට පාසල් අධ්‍යාපනය අඛණ්ඩව ලබාදීම, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සහ එහි වෙනස්කම් සම්බන්ධ අවබෝධය ලබාදීම, කාන්තාවන් හා දරුවන් සූරාකෑමෙන් ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ සංස්කෘතික හා ආගමික සහභාගීත්වය වඩාත් පුළුල් කිරීම, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වලට එරෙහිව හැකි සෑම පියවරක්ම ගැනීම, කාන්තාවන් හා දරුවන්ගේ ආරක්ෂාව සඳහා සම්පාදනය කර ඇති නීති රීති සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම, ඔවුන් අනාගතයේදී මානසික පීඩාවන්ට ලක්වීමේ අවදානම් පාලනය කිරීම සඳහා තාඩන පීඩන වලට ලක්වූ කාන්තාවන් හා දරුවන් සම්බන්ධ අධිකරණ ක්‍රියාවලිය කඩිනම් කිරීම හා වැඩිදියුණු කිරීම, කාන්තාවන් සහ ළමයින් සම්බන්ධ නඩු විභාග කිරීමට ගතවන කාලය අඩු කිරීම සහ ඔවුන් වෙනුවෙන් නීතිය ආරක්ෂා කිරීමල සහ කාන්තාවන් හා දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට නිසි දඩුවම් පැමිණවීම වැනි යෝජනා ඇතුළත් වී තිබුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *