කුවේටයේ ලාංකිකයන් 450කට ආසන්න පිරිසක් යළි දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –රැකියා සඳහා විදේශ වූ ශ්‍රී ලාංකිකයන් අතුරින් කොරෝනා වසංගත තත්වය මත විවිධ අපහසුතාවයන්ට පත්වු හාරසිය හතලිස් අටක පමණ පිරිසක් අද(19) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

විදේශ සබඳතා, නිපුනතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තෙ මහතා විසින් මෙම පිරිස කුවෙට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබේ.

කුවේට් ගුවන් සේවයට අයත් යානා දෙකකින් පැමිණෙන මෙම පිරිසක් අඟහරුවාදා දහවල් ශ්‍රී ලංකාවට ලගාවන අතර ඉතිරි පිරිස එදිනම රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිතය.

මෙම පිරිසෙන් හැටපස් දෙනකු පමණ කුවෙට් රැදවුම් මධ්‍යස්ථානයේ රැදී සිටියවුන් වන අතර, 383 දෙනකු වීසා නොමැතිව කුවෙට් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී එරට රජය විසින් ලබාදුන් පොදු සමා කාලය ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන අයවලුන් වේ.

කටුනායක ගුවන්තොටුපලේදි නියමිත සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම උපයෝගි කරගනිමින් ශාරීරික උෂ්ණත්වය පරික්ෂා කොට විෂබීජ හරනය කිරිමෙන් අනතුරුව මෙම පිරිස එදිනම යුධ හමුදාව යටතේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට නියමිතය.

කුවෙට් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ක්‍රියකාරි මැදිහත් වීමෙන් කුවෙට් රාජ්‍ය බලධාරීන් සමඟ සිදු කරන ලද සාකච්ඡාවෙහි ප්‍රථිපලයක් ලෙස මෙම පිරිස දිවයිනට ගෙන්වා ගැනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *