යුද හමුදාවේ 177කට උසස්වීම්

(කොළඹ, ලංකාපුවත්) – යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශය මත යුද හමුදාවේ නිලධාරීන් 177 දෙනකුගේ නිලයන් උසස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

විජයග්‍රහණයේ 11 වැනි සැමරුමට සමගාමී ව මෙලෙස යුද හමුදාවේ නිලධාරීන් 177 දෙනකුගේ නිල උසස් කර ඇති අතර මෙය මෑතකාලීනව ශ්‍රී ලංකා යුද හමුදාවේ එක් දිනක් තුළ ලබාදෙන ලද විශාලතම උසස්වීම් අතරින් එක් අවස්ථාවක් බව හමුදා ලේකම් කාර්යාලය පෙන්වා දෙයි.

ඒ අනුව, බ්‍රිග්‍රේඩියර් නිලයේ සිටි 5 දෙනෙකු මේජර් ජෙනරාල් නිලය දක්වාත්, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ කර්නල් නිලයේ සිටි 4 දෙනෙකු බ්‍රිගේඩියර් නිලය දක්වාත්, මේජර් නිලයේ සිටි 9 දෙනකු ලුතිනන් කර්නල් නිලය දක්වාත්, කපිතාන් නිලයේ සිටි 69 දෙනකු මේජර් නිලය දක්වාත් දෙවන ලුතිනන් නිලයේ සිටි 60 දෙනකු ලුතිනන් නිලය දක්වාත් නිල උසස් කර ඇති අතර යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඔවුන් සියලු දෙනාට සිය සුබපැතුම් එක්කර තිබේ.

මීට වසර දෙකකට ඉහත දී ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට රැස් ව සිටි කොටි හිතවාදීන්ට එරෙහිව නැඟීසිටි බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා ද මෙහිදී මේජර් ජනරාල් නිලයට උසස් කර තිබෙන අතර ඊට අමතර ව සී.යු. මාරසිංහ, ටී.ජේ. කොඩිතුවක්කු, එච්.පී. රණසිංහ, සී.ඩි. වීරසුරිය මහත්වරුන් මේජර් ජනරාල්වරුන් ලෙස උසස්කර ඇත.

ඊට අමතරව එස්.එන්. සමරවික්‍රම, එච්.එම්.එන්.බි හේරත්, එන්.ජි.එස්. තිලකරත්න සහ කේ.එන්. පෙරේරා මහත්වරු බ්‍රිගේඩියර් නිලයට උසස් වීම් ලබා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *