අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ සිදුවීම ගැන විමර්ශනයක්

(කොළඹ, ලංකාපුවත්) – අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ දී ඊයේ (26) දුම්රියෙන් යාමට පැමිණි මගීන් පිරිසක් විසින් කළහකාරි ලෙස හැසිරීම හා එමගින් උද්ගත වූ තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කරුණු විමසා ඇත.

එහිදී දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් ප්‍රකාශ කළේ රාජ්‍ය සේවකයින් පිරිසක් විසින් දුම්රියෙන් ප්‍රවේශපත් නොමැතිව යාමට කළ උත්සාහයක් බවත් , ඊට ඉඩ නොදීම නිසා මෙම තත්ත්වය ඇති වූ බවත් තමන්ට ආරංචි වී ඇති බවයි.

අමාත්‍යවරයා කියා සිටියේ රාජකාරි සඳහා වාර්තා කරන කිසිදු රාජ්‍ය සේවකයෙක් වාර ප්‍රවේශ පත්‍රයක් තමන් වෙත නොමැති නම් ප්‍රවේශ පත්‍රයක් මිල දී නොගෙන හොරෙන් හෝ බලාත්කාරයෙන් ගමන් කිරීමට උත්සාහ දරනවා යැයි කීම තමන් කිසිසේත්ම පිළිනොගන්නා බවයි. නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසියම් පසුබිම් සිදුවීමක් තිබිය හැකි බව තමන් විශ්වාස කරන බව අමාත්‍යවරයා කීය.

ඊයේ සිට පොදු ප්‍රවාහණ සේවා ආරම්භ කිරීමේ දී කල් තියා ආසන වෙන් කර ගැනීමට කටයුතු කරන ලෙස රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවයට වාර්තා කරන පිරිස්වලට අවසර දී තිබිනි. ඒ් අනුව මෙම සතිය තුළ දුම්රියෙන් ගමන් කිරීම සඳහා මගීන් 18,800ක් ලියාපදිංචි වී ඇති අතර ඊයේ දිනය තුළ පැමිණ සිටියේ 16,282ක් තරම් පීරිසකි. නමුත් කල් තියා ආසන වෙන් කර නොගත්ත ද සේවා ස්ථානවලට වාර්තා කිරීමට පැමිණෙන්නේ නම් දුමිරය ප්‍රවේශ පත්‍රයක් ලබා ගෙන ගමන් කිරීමට අවස්ථාව සළසන්නැයි ප්‍රවාහණ සේවා කළමනාකරණ මහින්ද අමරවීර මහතා විසින් උපදෙස් දී තිබිනි.

එමනිසා මේ සම්බන්ධව විමසීමක් කර තමන්ට ඒ සම්බන්ධව තොරතුරු ලබා දෙන ලෙස අමාත්‍යවරයා දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතාට උපදෙස් දුන්නේය.

එමෙන්ම කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා ඇඳිරි නීතිය ලිහිල් කළ මුල්ම අවස්ථාවේ දුම්රිය ප්‍රවේශ පත් නිකුත් නොකර මගීන්ට නොමිලයේ ගමන් කිරීමට ඉඩ දුන්නේ කෙසේ දැයි අමාත්‍යවරයා විමසා සිටියේය. ඒ සම්බන්ධව මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසීය. රජය විසින් විශාල මුදලක් වැය කර නඩත්තු කරන දුම්රිය සේවාව පවත්වා ගැනීම හා මහජන විශ්වසනීයත්වය ගොඩ නගා ගනිමින් ප්‍රවර්ධනය කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු සේවක මණ්ඩලවල වගකීමක් බව අමාත්‍යවරයා කියා සිටියේය.

කෙසේ වුවද ඊයේ අම්බලන්ගොඩ දී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලා තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දුන්නේය.

ඊයේ (26) පස්වරුවේ මේ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *