ජනපතිගෙන් කාර්ය සාධක බළකායක්

(කොළඹ, ලංකාපුවත්) –සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැඟීම සහ නැඟෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා ජනාධිපති කාර්ය සාධක බළකා දෙකක් ස්ථාපනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගනියි.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුතු ව මෙම කාර්ය සාධක බළකා දෙක ස්ථාපති කර තිබේ.

මෙම කාර්ය සාධක බළකා ස්ථාපිත කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදන ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා විසින් මේ වන විට නිකුත් කර ඇත.

සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය ආරක්ෂක ලේකම්වරයාට අමතර ව ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පතිවරයා, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජාතික බුද්ධි ප්‍රධානීවරයා, රාජ්‍ය බුද්ධි තොරතුරු සේවාවේ අධ්‍යක්ෂවරයා, යුධ, ගුවන්, නාවික හමුදා බුද්ධි අංශයන් හි අධ්‍යක්ෂවරුන්, පොලිස් විශේෂ කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු 13 දෙනෙක්ගෙන් සමන්විත ය. වර්තමානයේ රටේ ඇතැම් ස්ථානවල නීතිවිරෝධි ලෙස හැසිරෙන සමාජ කණ්ඩායම්වල එම ක්‍රියාවන් මැඩපැවැත්වීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම, මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වන්නන් ඉන් වැළැක්වීම, වරාය හා ගුවන් තොටුපළ ආදී ස්ථානවලින් මෙරටට මත්ද්‍රව්‍ය ඇතුළු වීම වැළැක්වීම, මත්ද්‍රව්‍ය ජාවාරම් පූර්ණ වශයෙන් මර්දනය කිරීම හා ඒ හේතුවෙන් සිදුවන සමාජ ව්‍යසනයන් වැළැක්වීම මෙම කාර්ය සාධක බළකායට පවරා තිබේ.

එමෙන්ම වෙනත් රටවල ස්ථානගත වෙමින් ශ්‍රී ලංකාව සිදුකරන නීති විරෝධි හා සමාජ විරෝධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් සොයා බලා ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ බන්ධනාගාර ආශ්‍රිත ව සිදු කරන නීති විරෝධි හා සමාජ විරෝධී ක්‍රියා වැළැක්වීමට කටයුතු කිරීම ජනාධිපති කාර්ය සාධක බළකායට පවරා තිබේ.

එමෙන්ම අදාළ කටයුතු පිළිබඳ ජනාධිපතිවරයා වෙත වාර්තා ඉදිරිපත් කිරීමට ද පියවර ගත යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සදහන් කර ඇත.

නැඟෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පවරා ඇති බලතල අනුව ස්ථාපිත කර ඇති අතර නැඟෙනහිර පළාත තුළ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන හඳුනා ගැනීම, එසේ හඳුනා ගත් ස්ථාන හා පුරාවස්තු සංරක්ෂණය කරමින් ඒවා කළමනාකරණය සඳහා සුදුසු වැඩපිළිවළක් හඳුනා ගැනීම හා ක්‍රියාත්මක කිරිම මෙම ජනාධිපති කාර්ය සාධක බළකායට පැවරී ඇති ප්‍රධාන වගකීමක් වේ.

මෙම කාර්ය සාධක බළකායේ ලේකම්වරයා ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මහත්මිය පත් කර ඇත.

මෙම ජනාධිපති කාර්ය සාධක බළකායේ සෙසු සමාජිකයන් ලෙස පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද නායක ස්වාමින් වහන්සේ, උතුර සහ නැඟෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිශාවේ ප්‍රධාන සංඝනායක අසිරිමලේ ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය පනාමුරේ තිලකවංශ නායක ස්වාමින් වහන්සේ, පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක, ඉඩම් කොමසාරිස් ජනරාල් චන්ද්‍රා හේරත්, මැනුම්පති ඒ.එල්.එස්.සී පෙරේරා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය රාජ් කුමාර සෝමදේව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය කපිල ගුණවර්ධන, බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නැඟෙනහිර පළාත් ඉඩම් කොමසාරිස් එච්.ඊ.එම් ඩබ්ලිව්.ජී දිසානායක, දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර යන මහත්ම මහත්මීහු ද වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *