මැතිවරණ සටන හුදකලා සටනක් වෙලා – හිටපු රාජ්‍ය ඇමති නිමල් ලාන්සා

(කොළඹ, ලංකාපුවත්) –විපක්ෂයේ පිල් බෙදීමත්, අසමගියත් හේතුවෙන් මැතිවරණ සටන හුදකලා සටනක් වී ඇති බව හිටපු ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

හිටපු අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ පසුගියදා (09) මීගමුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් හමුවූ අවස්ථාවේදී ය.

ජනතාවගේ බලාපොරොත්තුවක් වූ විනය ගරුක සහ නීති ගරුක සමාජයක් බිහි කිරීමට අවශ්‍ය සියළු කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ක්‍රියාවට නංවා ඇති අතර ඒ වෙනුවෙන් ජනාධිපති කාර්යසාධක බලකායක් පත්කොට සුදුසු පුද්ගලයින් ඒ සදහා පත්කර තිබෙනවා. රටට ආදරය කරන, රට ආරක්ෂා කරමින් සංවර්ධනය කරා ගෙන යා හැකි නිවැරදි ඉලක්කයක් ඇති ජනාධිපතිතුමාට අවශ්‍ය ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඉදිරි මහ මැතිවරණයේදී ජනතාව විසින් ලබා දෙනු ඇති බව නිමල් ලාන්සා මහතා පැවසීය.

විපක්ෂයේ පිල් බෙදීමත් අසමගිය වර්ධනය වීමත් සමග ඔවුන් එකිනෙකාට දෝෂාරෝපනය කර ගැනීම හැර ජනතාව වෙනුවෙන් සිදුකළ යුතු වැඩපිළිවෙල පිළිබද මතයක් සමාජගත නොකරන බවත් ආණ්ඩුව විසින් ගනු ලබන රටට යහපතක් වන සියළුම දෑ විවේචනය කරමින් සිය පටු දේශපාලන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම නිසා ජනතා ප්‍රසාදය දිනෙන් දින අහිමි වෙමින් පවතින බව නිමල් ලාන්සා මහතා පැවසීය.

කොවිඩ් 19 වසංගතය රට තුළ ව්‍යාප්ත වීම පාලනය සදහාරෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර කරමින් ඔවුන් නිරෝගී භාවයට පත්කරලීමට සෞඛ්‍ය අංශ ගෙන යන වැඩපිළිවෙලත්, රෝගීන් ඇසුරු කළ පිරිස් සහ විදේස් රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් නිරෝධායනය කරමින් ආරක්ෂක අංශ සිදු කරන වැඩපිළිවෙලත්, එතුළින් රෝගය සමාජගත වීමට ඇති ඉඩකඩ අහුරමින් රටේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරමින් රජය ගෙනයනසමස්ථ වැඩපිළිවෙලේ සාර්ථකත්වය පවා පිළිගැනීමට තරම් නිහතමානීකමක් විපක්ෂයතුළ නොමැති බව නිමල් ලාන්සා මහතා මෙහිදී පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට නිවැරදිව පාලනය කරනු ඇති බවට ජනතාව තුළ ඉහළ විශ්වාසයක් ගොඩනැගී ඇති අතර ඉදිරි මැතිවරණයේදී එම විශ්වාසය නැවත වරක් තහවුරු වෙන බව නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *