පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම හේමසිරිට හා පූජිත්ට එරෙහි මූලික විමර්ශන අවසන්

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව රහස් පොලිසිය විසින් පවත්වන ලද මූලික විමර්ශන අවසන්ව ඇති බවට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (17) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වෙත දැනුම් දුන්නේය.

පැමිණිල්ල ඊයේ (17) යළි කැඳවූ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සිද්ධියට අදාළව සැකකරුවන් සම්බන්ධයෙන් මූලික විමර්ශන රහස් පොලිසිය විසින් අවසන් කරනු ලැබ ඇති බවත් ඉදිරි අධිකරණ කටයුතු සම්බන්ධයෙන් ඉදිරි දින අධිකරණයට දැනුම් දෙන බවත් දන්වා සිටියේය.

සිද්ධියට අදාළ උධෘත ගොනු දෙකක් දැනටමත් නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවට දිලීප පීරිස් මහතා අධිකරණයට දැන්වීය.ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීමෙන් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීමේ චෝදනාව මත හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනාට චෝදනා ගොනු කර ඇත. මෙම සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින ඔවුන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔවුන් මේ වන විට මහාධිකරණ නියෝග අනුව ඇප මත මුදා හැර තිබේ.

අදාළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ල යළි කැඳවීම ඔක්තෝබර් 23 වැනි දිනට දින නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *