රූපලාවන්‍ය ශිල්පීන්ගේ ගැටලු විසඳීමට ජනපති මැදිහත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –කුඩා ව්‍යාපාරිකයන්ට නැඟීසිටීම සඳහා නිදහස ලබාදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

රජය අනවශ්‍ය ලෙස මැදිහත්වීමෙන් කුඩා පරිමාණ ව්‍යාපාරවල දියුණුවට බාධා විය හැකි බව ජනාධිපතිතුමා පෙන්වාදෙයි. අවශ්‍ය වන්නේ පහසුකම් සහ නිපුණතා සංවර්ධනයට සහයවීම බව ද ජනාධිපතිතුමා කියාසිටියේය. ඒ රූපලාවන්‍ය සහ කේශාලංකරණ ශිල්පීන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ ඊයේ(25) පැවැති හමුවකට එක්වෙමින්ය.

රූපලාවන්‍ය හා කේශාලංකරණ ක්ෂේත‍්‍රයේ වෘත්තීභාවය වැඩිදියුණු කිරීම, මූලික පහසුකම් සැලසීම හා වෙළෙද ප‍්‍රවර්ධන හැකියාව ලබාදීම රජයේ වගකීම බවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එහිදී සඳහන් කළේය. බොහෝදෙනාගේ ඉල්ලීම මත ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහය රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයට ලබාදීමට ජනාධිපතිතුමා එකඟතාව පළකළේය.

රටපුරා ඇති සුළු, මධ්‍ය හා මහා පරිමාණ රූපලාවන්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව අනූ හයදහසක්. ලක්ෂ හතරහමාරකට අධික පිරිසක් ඒවායෙහි සේවයේ නිරත වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඔවුන්ගෙන් යැපෙන පවුල් සංඛ්‍යාව ලක්ෂ 15 ක්. රූපලාවන්‍ය, වෘත්තියක් ලෙස ගුණාත්මකව පවත්වාගෙන යාමට අවශ්‍ය පුහුණුව ලබාදීම පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

ක්ෂේත‍්‍රයේ ගැටලු පිළිබද අවබෝධ කරගෙන සිටීම සම්බන්ධයෙන් රූපලාවන්‍ය ශිල්පීන් ජනාධිපතිතුමාට සිය ප‍්‍රශංසාව පළකරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *