සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –කෘතහස්ථ ළමා සාහිත්‍යවේදිනයක සහ චිත්‍ර ශිල්පිනයක වන කලාකීර්ති සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි. මිය යනවිට ඒ මහත්මිය 93 වන වියේ පසුවිය.

දින කිහිපයක් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඇය ඊයේ (30) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සදහන් කළේය.

ගාල්ලේදී උපත ලද සිබිල් වෙත්තසිංහ මහත්මිය ගිංතොට බෞද්ධ මිශ්‍ර පාසලෙන් සිය මූලික අධ්‍යාපනය හිමිකර ගත්තාය. පසුව බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ඇතුළත් වූ ඇය එච් ඩී සුගතපාල මහතාගේ නව මග පස්වන ප්‍රමාණයේ කියවීම් පොතට චිත්‍ර නිර්මාණය කළේ 15 හැවිරිදි වියේදීය. වයස අවුරුදු 19 දී චිත්‍ර ශිල්පිනියක ලෙස පුවත්පත් කලාවට පිවිසි සිබිල් වෙත්තසිංහ මහත්මිය වසර 60 කට වැඩි කාලයක් ළමා චිත්‍රකතා කලාවේ අනබිභවනීය පරිච්ඡේදයක් සම්පූර්ණ කළාය.

ඇය නිර්මාණය කර ඇති සිංහල සහ ඉංග්‍රීසි ග්‍රන්ථ සංඛ්‍යාව 200 කට වැඩිය. 1956 වසරේදී ඈ අතින් නිර්මාණය වූ කුඩ හොරා ළමා කථාව එදාමෙදා තුර දරුවන් ආදරයෙන් වැළද ගත් කෘතියකි. මෙරට සිංහල ළමා කථා කලාව නව මගකට ගෙනඒමට ද එම කෘතිය සමත් විය.

සිබිල් වෙත්තසිංහ මහත්මිය සිය ළමා සහ යොවුන් කතා වෙනුවෙන් ජාතික සහ ජාත්‍යන්තර සම්මාන රැසකට පාත්‍ර වුණි. 1965 වසරේ දී ඇයගේ වෙසක් පහන කෘතියට මහා බ්‍රිතාන්‍යයේ ඉසොබෙල් හටින් සම්මානය හිමිවිය. 1986 වසරේ දී ජපානයේ පළවූ හොදම විදේශ ළමා කෘතිය බවට පත්වූයේ කුඩ හොරා ග්‍රන්ථයයි. 1987 වසරේ දී ටෝකියෝ ළමා පුස්තකාලය තේරූ ජනප්‍රියම ළමා පොත ලෙස ද කුඩා හොරා පත්විය. හොදම සැළසුම සහිත ළමා පොත සදහා 2003 වසරේ ඇයගේ දුවන රැවුල කෘතිය ජාත්‍යන්තර සාක් සම්මානයෙන් පිදුම් ලැබීය.

ඇයගේ කෘති ජපානය, චීනය, කොරියාව, පිලිපීනය, නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්ක්, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් රැසක ප්‍රකාශයට පත්ව තිබෙනවා.

කුඩාදරුවන් විසිදහසක් සම්බන්ධකර ගනිමින් පුදුම පළිගුව මැයෙන් ළමා කෘතියක් රචනා කරමින් ඇය මෑතකදී ගිනස් වාර්තා පොතට ද එක්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − four =