කල්කුඩා පිරිවෙන විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – කල්කුඩා සිරි සීලාලංකාර මූලික පිරිවෙන විවෘත කිරීම අමරපුර ශ්‍රී ධර්මරක්ඛිත මහා නිකායේ මහා නායක මහෝපාධ්‍යාය අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යම්පත් මහත්මියගේ සහභාගිත්වයෙන් විවෘත කෙරිණි.

පන්ති පහකින් සමන්විත මෙහි මුලික පිරිවෙන් අධ්‍යාපනය ලබා දිමට නියමිතය. පුස්තකාලයක්, පිරිවෙන් කාර්යාලය සහ දාන ශාලාව ද ඊයේ විවෘත කෙරිණි. මෙහි මූලික අභිප්‍රාය වන්නේ දමිළ කුල දරුවන් පැවිදි කර දමිළ බසින් බුදු දහම ප්‍රචලිත කිරිමය. විශේෂයෙන් මෙහි දමිළ භාෂාව ඉගැන්විම සදහා ද ගුරුභවතුන් බදවා ගැනිමට නියමිතය. මීට පෙර එම ස්ථානය සිංහල විද්‍යාලයක් ලෙස පැවති අතර 30 වසරක් පුරා පැවති ත්‍රස්තවාදි කලබල නිසා එය විනාශ වී තිබිණි. මෙම පිරිවෙනේ පුස්තකාලයට අවශ්‍ය උපකරණ ආණ්ඩුකාරවරිය විසින් පරිත්‍යාග කළාය.

මෙම පිරිවෙනේ අධ්‍යාපන කටයුතු ගුණාත්මකභාවයෙන් යුතුව ඉදිරියට සිදු කර ගැනිම සදහා අවශ්‍ය සියලු සහය පළාත් සභාව විසින් ලබා දෙන බව ඇය එහිදී කීවාය. පිරිවෙන ආරම්භ කිරිම සනිටුහන් කරමින් පළමු පැවිදි ශිෂ්‍යයා බදවා ගැනිම අස්ගිරි විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, අස්ගිරි මහා විහාර පිරිවෙනෙහි පරිවේනාධිපති පූජ්‍ය නාරම්පලාවේ ආනන්ද මහනාහිමියන් විසින් සිදු කළහ. එහි අධ්‍යාපන කටයුතු සදහා එක්වුණු පළමු ගිහි ශිෂ්‍යයා බදවා ගැනිම සිදු කරනු ලැබුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය විසිනි. එම පිරිවෙන ආරම්භ කිරිමට අවශ්‍ය සෙසු සම්පත් විවිධ දානපතීන් හරහා සිදු කිරිමද විශේෂත්වයකි. එම ප්‍රදේශයේ ආරම්භ කරන ලද පළමු පිරිවෙන මෙය වීමද විශේෂත්වයකි.

මෙම අවස්ථාව සඳහා මහසංඝරත්නය, සමස්ත ලංකා බෞද්ධ මහ සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල, ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක, ත්‍රිවිධ හමුදා නිළධාරින් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *