සිබිල් වෙත්තසිංහ මහත්මිය අද දැයෙන් සමු ගනී

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර කීර්තියට පත් කෘතහස්ථ ළමා කතා ලේඛිකාවක සහ ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පිනියක වූ එසේම මෙරට ළමා කතාන්තර කලාවේ පුරෝගාමී ලේඛිකාව වූ අභාවප්‍රාප්ත සිබිල් වෙත්තසිංහ මහත්මියගේ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේ දී අද (03) පස්වරුවේ සිදු කෙරේ.

93 හැවිරිදි වියේ පසු වූ ඇය ඉකුත්දා අභාවප‍්‍රාප්ත වූයේ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදීය.

සිබිල් නැන්දා ලෙසින් ආදරය දිනාගත් සිබිල් වෙත්තසිංහ මහත්මියගෙන් ලෝක ළමා සාහිත්‍ය පෝෂණය කිරීමට ලැබූ දායකත්වය ශී‍්‍ර ලාංකිකයින් වශයෙන් අභිමානයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා පවසන්නේ දරු පරපුර අතර සිරිත් විරිත් සහ වටිනාකම් ප‍්‍රවර්ධනයට සිබිල් වෙත්තසිංහ මහත්මිය දශක 06 ක් පුරා කළ අත්හදා බැලීම් ලාංකේය අනන්‍යතාව සහිත ළමා සාහිත්‍යයක් ලෝකයට දායාද කිරීමට උපකාර වූ බවයි.

මේ අතර ශෝක පණිවිඩයක් නිකුත් කරමින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාද පවසන්නේ මුළු දිවියම ළමා ලෝකයේ සතුට වෙනුවෙන් කැප කළ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ නිර්මාණ තවත් චිරාත් කාලයක් මෙරට ළමා ලෝකය සුන්දර කරනු ඇති බවයි. පුංචි දරුවන්ගේ ලෝකය තුළ ආදර සිබිල් නැන්දා වීරවරියක් බවද අග‍්‍රාමාත්‍යවරයා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *