පුද්ගලික බස් රථ ගැටළු අද අමාත්‍ය මණ්ඩලයට

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පනවන ලද සෞඛ්‍ය ආරක්ෂණ නිර්දේශ පොදු ප්‍රවාහණයේ දී ක්‍රියාත්මක කිරීමත් සමග තම දෛනික ආදායම සියයට 50කටත් වඩා ප්‍රමාණයකින් පහත වැටී ඇටී බවත්, එමනිසා තවදුරටත් බස් කර්මාන්තය පවත්වාගෙන යා නොහැකි බවත් එමනිසා බස් ධාවනයෙන් තමන් ඉවත්වන බවත් සඳහන් කරමින් බස් රථ අයිතිකරුවන්ගේ සංගම් කිහිපයක් ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග සාකච්ඡා කළේය.

පසුගිය සෙනසුරාදා (11) අගුණකොළපැලැස්සේ පැවැති එම සාකච්ඡාවේදී අමාත්‍යවරයා ඔවුන්ට ප්‍රතිඥාවක් ලබා දුන්නේ මෙම සතියේ අමාත්‍ය මණ්ඩලයට ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කරන බවයි.

ඒ අනුව ඊයේ (14) බස්නාහිර පලාත් මාර්ගස්ථ මගි ප්‍රවාහණ අධිකාරියේ නිලධාරින් සමග අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල ගැටලු සම්බන්ධව සාකච්ඡා කළේය.

බස් රථ සංගම් විසින් ඉල්ලා සිටින පරිදි මෙම අවස්ථාවේ බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීම හෝ ඉන්ධන සහනාධාරයක් ලබා දීම සිදු කළ නොහැකි නිසා ඔවුන්ගේ සාධාරණ ඉල්ලිම්වලට යම් ප්‍රතිචාරයක් රජය පාර්ශ්වයෙන් ලබා දිය යුතු යැයි තමන් විශ්වාස කරන බැවින් ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධව කරුණු අද දින පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා පැවැසීය.

මේ අතර එක්තරා බස් සංගමයක් විසින් ආණ්ඩුව අවසර දුන්නත් නැතත් බස් ගාස්තු වැඩි කරන බවට කර ඇති ප්‍රකාශයක් සම්බන්ධව අදහස් දැක්වු අමාත්‍යවරයා බස් කර්මාන්තය පවත්වාගෙන යාමට තරම් ආදායමක් දැන් ඔවුන්ට නොලැබෙන බව රජය දන්නා අතර ඒ් සම්බන්ධව සාකච්ඡා කර විසඳුමකට ඒ්මට තමන් කටයුතු කරන බව කීය.

කොවිඩ් 19 වසංගත තත්ත්වය නැවතත් හිස එසවීම නිසා ඉදිරි දින කිහිපය තුළ පොදු ප්‍රවාහණය භාවිතා කරන මගින් ප්‍රමාණය තවදුරටත් අඩු විය හැකි බව ද ඇමැතිවරයා සඳහන් කළේය. එමනිසා පුද්ගලික බස් රථ අයිතිකරුවන්ගේ දෛනික ආදායම සීග්‍රයෙන් පහත වැටෙමින් පවතින බවත් හෙතෙම සඳහන් කළේය. පුද්ගලික බස් සේවාව ලබා දෙන සේවාව අගය කළ යුතුය. එම සේවාව නොමැතිනම් ලංගමයට පමණක් තනිවම පොදු ප්‍රවාහණ සේවා අවහ්‍ය පමණට ලබා දීඹට නොහැකිය.

කෙසේ වුවද ලංගම හා දුම්රිය ගාස්තු රජය විසින් ඉහළ දැමීමට අපේක්ෂා නොකරන අතර යම් පුද්ගලික බස් රථ සංගමයක් ගාස්තු වැඩි කරන්නේ නම් ඒ් සඳහා ජාතික ගමනාගමන කොමිසමේ අනුමැතිය ලබා ගත යුතු බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

කෙසේ වුවද පුද්ගලික බස් රථ සංගම් විසින් ඉදිරිපත් කළ ඉල්ලිම් සියල්ල සහිත වාර්තාවක් අද දින (15) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ඇමැතිවරයා තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *