විදුලි බිලට දැවැන්ත සහනයක්

(කොළඹ, ලංකාපුවත්) – 2020 මාර්තු, අප්‍රියේල් සහ මැයි මාසවල විදුලි බිල්පත සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ එල්ල වූ චෝදනා හා පැමිණිලි සම්බන්ධව අවධානය යොමු කරමින් ඒ සඳහා මහජනතාවට දැවැන්ත සහනයක් ලබාදීමට රජය තීරණය කරන ලදැයි විදුලිබල බලශක්ති සහ ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (15) දින ප්‍රකාශ කළේය.

විදුලි බිල්පත් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීම සඳහා අමාත්‍යවරයා විසින් අමාත්‍ය මන්ඩල දැනුවත් කිරීමේ පත්‍රිකාවක් මින් පෙර ඉදිරිපත් කළ අතර ලබාදීමට යෝජිත සහන සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක්ද පත් කරනු ලැබීය. එම කමිටු වාර්තාව පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව මාර්තු, අප්‍රියේල් සහ මැයි මාස තුන සඳහා වන විදුලි බිල්පත් පෙබරවාරි මාසයේ සඳහන් බිල්පතට අනුව හෝ ඉන්පසුව ලද අවම බිල්පත යටතේ ( පෙබරවාරි මස සඳහන් වන මිල ගණනට වඩා මාර්තු බිල්පත අඩු නම් එම බිල්පතේ සඳහන් ගණන ) ගෙවීමට අවස්ථාව ලබාදීමට රජය අද දින තීරණය කළ බව අමාත්‍යවරයා ප්‍රවාහන සේවා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

එමෙන්ම එම බිල්පත් ගෙවීම සඳහා මාස දෙකක සහන කාලයක් ලැබෙන අතර එම කාලය තුළ කිසිදු විදුලි විසන්ධි කිරීමක් සිදු නොකිරීමට ද ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දී ඇත.

මහජනතාවට මෙම සහන ලබාදීම සඳහා රජය විසින් ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් දසලක්ෂ 3000 ක් ලබාදීමටද එකඟත්වය පල කරන ලදැයි අමාත්‍යවරයා සඳහන් කළේය. විදුලිබල මණ්ඩලය මගින් මින් පෙර කිසිදු අවස්ථාවක මෙවැනි දැවැන්ත සහනයක් විදුලි පාරිභෝගිකයන් වෙත ලබාදී නැතැයිද ඇමතිවරයා සඳහන් කළේය. තවද කොවිඩ්-19 හේතුවෙන් විදුලි මනු කියවීම විධිමත් පරිදි සිදුනොවීම සඳහා බිල්පත්වල වැරදි මිල ගණන් සඳහන් වීම සම්බන්ධයෙනුත් සොයා බැලීමක් සිදු කිරීමට නියමිත අතර මැයි මාසයේ සිට නැවතත් විදුලි මනු කියවීම ආරම්භ කර ඇත.

ඒ අනුව ඉහත සඳහන් කළ මාස 03ට ලබාදුන් බිල්පත් අනුව යම් කෙනෙක් බිල්පත් දැනටමත් ගෙවා ඇත්නම් ඊට අදාළ මුදල් ලබා ගැනීම හෝ ඉදිරි බිල්පත්වලින් එම මුදල් පූරණය කිරීමටද පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *