කුරුණෑගල පුරාවිද්‍යාත්මක ස්ථානයකට හිතාමතා හානි කළේ නම් තරාතිරම නොබලා දඬුවම් කරනවා

(කොළඹ, ලංකාපුවත්) –කුරුණෑගල නගරයේ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථානයකට හිතාමතා හානි කිරීමක් කර ඇතිනම් ඒ අයගේ තරාතිරම නොබලා දඬුවම් කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් තමං මේ වන විටත් වාර්තාවක් කැඳවා ඇති බව පැවසූ රාජපක්ෂ මහතා එම වාර්තාව ලැබුණු වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කරන ජන රැලියකට මොනරාගල බඩල්කුඹුර නගරයේදී ඊයේ (19) එක් වෙමිනි. මේ සිද්ධියේදී කවුරුන් හෝ වරදක් කර ඇත්නම් නෑයා නොනෑයා නොබලා කටයුතු කිරීමට තමන් සූදනම් බව පැවසු අගමැතිවරයා පුරා විද්‍යාත්මක වටිනාකමිකින් යුත් ස්ථාන ආරක්ෂා කිරීම සිය යුතුකමක් සේ සලකන බවත් පැවසීය.

තමන් නායකත්වය දරන රජයක් යටතේ කිසිදු අවස්ථාවක පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන විනාශ කිරීමට ඉඩ තබා නැති බව පැවසූ රාජපක්ෂ මහතා, මුහුදු මහා විහාරය ඇතුළු ඓතිහාසික ස්ථාන ආරක්ෂා කිරීමට පළමුව පියවර ගත්තේ තමන් විසින් බවත් පෙන්වා දුන්නේය.

විජිතපුර බලකොටුව ඩෝසර් කර නිවාස තනන විට නිහඩව සිටි පිරිස් මේ කාරණය දේශපාලන වේදිකාවේ මාතෘකාවක් කරගෙන තිබෙන බවත් රටේ නිධානයක්වත් තිබෙන්නට ඉඩ නොහැරී නිධන් හොරුන් මේවා ගැන කතා කිරීම විහිළුවක් බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් නායක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු අපේක්ෂක අපේක්ෂිකාවෝද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *