යල කන්නයට වී මිල දී ගැනීමේ සියලු කටයුතු සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –2020 වසරේ යල කන්නයට අදාළ වී මිල දී ගැනීමේ වැඩපිළිවෙළ අදාළ සියලු අංශවල දායකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇතැයි උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන සහ තොරතුරු හා තොරතුරු තාක්ෂණ ඇමැති, කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මෙවර සමස්ත වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 2.1ක් පමණ විය හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කර ඇති අතර ජූලි මැද සතියේ පටන් අස්වැන්න වෙ‍ෙළඳපොළට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව, වගා කර ඇති භූමි ප්‍රමාණය අනුව උපරිම වශයෙන් එක් ගොවියකුගෙන් වී කිලෝ ග්‍රෑම් 5000 බැගින් වන සේ නියමිත ප්‍රමිතියෙන් යුතු සම්බා, නාඩු සහ කීරි සම්බා යන වර්ගවල වී කිලෝ ග්‍රෑම් එකකට රු.50 ක සහතික මිලක් ලබා දීමටත් තෙත වී කිලෝවකට රු.42ක සහතික මිලක් ලබාදීමටත් පසුගියදා රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දුන් බව හෙතෙම කීවේය.

මහවැලි. කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය විසින් මෙහෙයවන මේ වැඩපිළිවෙළ, දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් හා සෙසු ප්‍රාදේශීය මෙන්ම ග්‍රාමීය මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගයෙන් වී අලෙවි මණ්ඩලය හරහා නොපමාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවත් වී අලෙවි මණ්ඩලය සෘජුවම ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට කටයුතු යොදන අතර, දුෂ්කර පළාත්වල ගොවීන්ගෙන් වී මිලදී ගැනීම ගොවි සංවිධාන නියෝජිතයන් හරහා සිදු කිරීමට අපේක්ෂිත බවත් ගුණවර්ධන මහතා පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *