එළඹෙන දීර්ඝ නිවාඩුවේ ඡන්දය දැමීමට ගම්බිම් බලා යන ජනතාවට ප්‍රවාහන පහසුකම්

(කොළඹ, ලංකාපුවත්) –අගෝස්තු මස 05 දින පැවැත්වෙන මහමැතිවරණයේ දී ඡන්දය භාවිතා කිරීමට කොලඹ හා තදාසන්න ප්‍රදේශවල සිට ගම්බිම් බලා ගමන් ගන්නා ජනතාවට ප්‍රවාහන පහසුකම් ලබා දීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (22) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

අගෝස්තු 03න සඳුදා දින පුරපසලොස්වක පොහෝ දිනය බැවින් දීර්ඝ නිවාඩුවක් රජයේ හා පුද්ගලික අංශයේ සේවකයින්ට ලැබෙන නිසා ජූලි මස 31 දින කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල සිට ගම්බිම් බලා යන පිරිස වැඩි විය හැකිය. එම පිරිසට තදබදයකින් තොරව මෙන්ම කොවිඩ් 19 සම්බන්ධව සෞඛ්‍ය උපදෙස් අනුව ප්‍රවාහණ සේවා සැලසීම තම අරමුණබව ද අමාත්‍යවරයා කීය.

ඒ් අනුව අමතර පුද්ගලික බස් රථ 600ක් යෙදවීමට ජාතික ගමනාගමන කොමිසම කටයුතු යොදා ඇති අතර ලංගම විසින් ඔවුන් සතු සියලුම බස් රථ ධාවනය සඳහා යොදවා තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු සියලුම දුම්රිය ධාවනය සඳහා යොදවන අතර ඇතැම් ගමනාන්තයන් දිර්ඝ කිරීමටත්, විශේෂ දුම්රිය කිහිපයක් අමතරව ධාවනය කිරීමටත් කටයුතු යොදා ඇත.

විශේෂයෙන් 2020.07.31 සිට අගොස්තු 04 දක්වා කාලය තුළ වැඩි පිරිසක් කොළඹින් බැහැර යාමටත්, එමෙන්ම අගෝස්තු 7-9 දක්වා කාලය තුළ ආපසු පැමිණීමටත් ඉඩකඩ පවතින හෙයින් එම කාලය තුළ තදබදයකින් තොරව මගි ජනතාවට ගමන් කිරීමට පොදු ප්‍රවාහණ සේවා යොදවන බව අමාත්‍යවරයා සදහන් කළේය.
ජාතික ගමනාගමන කොමිසම විසින් ක්‍රියාත්මක කර තිබෙන වැඩ පිලිවෙළ අතර නව බස් රථ සඳහා තාවකාලික බලපත් ලබා දීම, බැස්ටියන් මාවතේ පිහිටි පුද්ගලික බස් නැවතුම් පොළ විෂබීජානුහරණය කිරීම, කාර්ය මණ්ඩල නිරන්තරයෙන් ප්‍රවාහනය අධීක්ෂණය සඳහා යෙදවීම ද සිදු කිරීමට නියමිතය.

කෙසේ වුවද මෙවර මහමැතිවරණය හේතුවෙන් ගම්බිම් බලා යන පිරිස වැඩිවිය හැකි නිසා ඒ් සම්බන්ධව කල් තියාම සුදානම් වීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසම, ලංකාගමනාගමන මණ්ඩලය හා දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බවත් අමාත්‍යවරයා කීය.

මෙමඅවස්ථාවට ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම මහතා ඇතුළු පිරිසක් සහභාගි වුහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *