නව නාවික හමුදාපති හා යුද්ධ හමුදාපති අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා 24 වන නාවික හමුදාධිපති ලෙස සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් පසු ඊයේ(21) යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමු වී සුහද පිළිසඳරක නිරත විය.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත පැමිණි නාවික හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා විධායක ජෙනරාල් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු ආරක්‍ෂක මුරයක් සහ සම්මාන මුර පෙළපාලියක ගෞරවාචාර ද පුදකරනු ලැබීය.

ඉන් අනතුරුව, හමුදාධිපති දෙපල අතර හමුදාධිපති කාර්යාලයේදී පැවති සුහද හමුවේදී අතීත මතකයන්, අවබෝධාත්මක බැඳීම් සහ සුහදතාවන් සිහිපත් කරමින් අනාගතයේ දී ජාතික ආරක්‍ෂාව පිළිබඳ භාරකරුවන් වශයෙන් ද සමීප සබඳතා පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබදවද සාකච්ඡා කරනු ලැබූහ. සුහඳ පිළිසඳර නිමාවත් සමඟ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා නාවික හමුදාධිපතිතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වූ අතර එහිදී නාවික හමුදාධිපතිතුමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සිය සුභපැතුම් එක් කළේය.

වැඩසටහනේ නිමාව සනිටුහන් කරමින්, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යුද්ධ හමුදාධිපති කාර්යාලයේ අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සමරු සටහනක් තබමින් මෙවන් උණුසුම් පිළිගැනීමක් ලබාදීම පිළිබදව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සිය කෘතඥතාවය පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *