ETI තැන්පතුකරුවන්ට රක්ෂණ වන්දි මුදල් ගෙවීම සෙනසුරාදා සිට

(කොළඹ, ලංකාපුවත්) –ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී යන ආයතනවල තැන්පතුකරුවන්ට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල මගින් රක්ෂණ වන්දි මුදල් ගෙවීම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඊ. ටී. අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී. එල්. සී. යන ආයතනවල ව්‍යාපාර කටයුතු 2020.07.13 දින සිට බලපැවැත්වෙන පරිදි තහනම් කිරීමෙන් අනතුරුව එම ආයතන දෙකෙහි තැන්පත්කරුවන්ට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල මගින් රක්ෂණ වන්දි මුදල් ගෙවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර ගෙන ඇත.

ඒ අනුව 2020.07.25 වැනි සෙනසුරාදා දින සිට දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා 45ක් මගින් රක්ෂණ වන්දි මුදල් ගෙවීම් සිදු කෙරනු ඇත. මෙහි දී එක් තැන්පතුකරුවෙකු සඳහා රුපියල් ලක්ෂ 6ක උපරිමයකට යටත්ව වන්දි මුදල් ලබා දෙයි.

ඊ. ටී. අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී. එල්. සී. යන ආයතන මගින් තහවුරු කරන ලද සියලු ම තැන්පත්කරුවන්ට, තැන්පතුවල නීත්‍යනුකූල උරුමකරුවන්ට වන්දි මුදල් ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් මේ වන විට වෙන් කර ඇති අතර මෙම ගෙවීම් ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවශ්‍ය සියලු පියවර ගෙන ඇත.

මෙම වන්දි මුදල් සඳහා අයදුම් කිරීමේ දී තැන්පතු සහතික සහ හැඳුනුම්පත් ආදී ලියකියවිලිවල මුල් පිටපත් නිසි පරිදි මහජන බැංකුව වෙත ඉදිරිපත් කිරීම මගින් මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා උපරිම සහයෝගය ලබා දෙන ලෙස අදාළ ආයතන දෙකෙහි තැන්පතුකරුවන්ගෙන්, තැන්පතුවල නීත්‍යනුකූල උරුමකරුවන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

මේ සම්බන්ධයෙන් වැඩි දුර විස්තර පහත දැක්වෙන දුරකථන අංකයන්ට ඇමතීමෙන් ලබා ගත හැකි ය.

මහජන බැංකුව : 0112-481594, 0112-481320, 0112-481617, 0112-481703
ශ්‍රී ලංකා මහ බැංකුව : 0112 – 398788, 0112-477261

Leave a Reply

Your email address will not be published. Required fields are marked *