යුරෝපා සංගම් දූත මණ්ඩලය සංවිධානය කළ ‘වර්ණවත් ජීවිතය’කොවිඩ් චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයින් නම් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ්-19 අතරතුර කුඩා දරුවන්ගේ නිර්මාණශීලීත්වය ඔප් නැංවීම අරමුණු කරගනිමින් පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ යුරෝපා සංගම් දූත මණ්ඩලය සංවිධානය කළ ‘වර්ණවත් ජීවිතය’ (Life in Colour) චිත්‍ර තරගයේ ජයග්‍රාහකයින් පසුගියදා නිවේදනය කෙරුණි.

වයස අවුරුදු 15 හා ඊට අඩු වයසේ ළමුන් සහභාගී වූ මෙම චිත්‍ර තරගයේදී,ඔවුහු නිවාසවලට වී ආරක්ෂිතව සිටින අතරතුර තම තමන්ගේ ජීවිත චිත්‍රයට නැගීම අරමුණු කෙරිණි.

කොවිඩ්-19 සමඟ උදා වූ මෙම ‘නව සාමාන්‍ය’ තත්ත්වය කලාත්මක ලෙස චිත්‍රණය කිරීමට කුඩා ළමුන් සිය ගණනක් උනන්දුවෙන් එක්ව සිටි අතර එය යුරෝපා සංගම් දූත මණ්ඩලයේ මහත් ප්‍රමෝදයට හේතු වී තිබුණි. විනිශ්චය කිරීමේ වට ගණනාවක් අනතුරුව අවසාන වටය සඳහා චිත්‍ර නිර්මාණය 30ක් තෝරාගැනුණි. එහිදී වයස අවුරුදු 0-6, 7-11 සහ 12-15 දක්වා වයස් කාණ්ඩ වලින් ජයග්‍රාහකයින් තෝරාගැනිණි. ඒ ඒ කාණ්ඩවල ජයග්‍රාහකයින්ට චිත්‍ර නිර්මාණ උපකරණ කට්ටල හිමි වූ අතර අවසාන වටයට නිර්දේශ වූ සියලු තරගකරුවන්ට වටිනා සහතික පත්‍රය බැගින් හිමිවිය.

‘වර්ණවත් ජීවිතය’ චිත්‍ර තරගාවලියේ වයස අවුරුදු 0-6, 7-11 සහ 12-15 යන කාණ්ඩවල ජයග්‍රාහකයින් ලෙස පිළිවෙලින් එම්.එස්.එම්. අම්හා, ආර්. අක්ෂතා පද්මාෂිණී සහ සමුදි හෙන්දහේවා යන ළමුන් තෝරාගැනුණි. ජයග්‍රාහකයින්ගේ හා අවසාන වටයට තේරීපත් වුණු සියලු චිත්‍ර නිර්මාණ යුරෝපා සංගම් දූත මණ්ඩල ෆේස්බුක් පිටුවේ (https://www.facebook.com/EUDel.Srilanka.Maldives) පළ කර තිබේ.

“විශේෂයෙන්ම දරුවන් ජීවත්වන ආකාරය සහ ලෝකය අත්දකින ආකාරය විශාල ලෙස වෙනස්වීමකට මුහුණ දුන් මෙවැනි අවස්ථාවක ඔවුන්ගෙන් ලද උද්‍යෝගිමත් ප්‍රතිචාරය ඉතාමත් සතුටුදායකයි. ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න අයුරින් ඔවුන්ගේ පරිකල්පනය පුබුදුවාලීමටත්, හැඟීම් ප්‍රකාශ කිරීමටත් අවස්ථාවක් උදා කිරීමට හැකිවීම අපට විශාලප්‍රීතියක්. ජයග්‍රාහකයින්ට වගේම අවසාන වටයට තේරී පත්වුණු දරුවන්ටත් අපගේ ශුභාශිංසන එක්කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා” යනුවෙන් මෙම චිත්‍ර නිර්මාණ තරගය පිළිබඳ අදහස් දක්වමින් යුරෝපා සංගම් දූත මණ්ඩලයේ වැඩබලන ප්‍රධානී ෆ්‍රෑන්ක් හෙස් මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *