(කොළඹ, ලංකාපුවත්) –“ශ්රීපත්“ සන්නාමයෙන් යළි පණ ගැන් වූ වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදිත ප්‍රථම කඩදාසි තොගය වෙළෙඳපොළට නිකුත් කිරීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (02) සිදු කෙරිණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් පරිදි මේ රටේ තිබෙන හැකියාවන් නැවත උද්දීපනය කළ යුතුයි යන්න අර්ථවත් කරමින් වසර දහයකට පසු මේ කම්හල නැවත සිය නිෂ්පාදන ආරම්භ කිරීම සුවිශේෂය.ජාතික කඩදාසි සමාගම සතුව පැවැති ඇඹිලිපිටිය හා වලච්චේන කඩදාසි කම්හල් දෙකෙන් ඇඹිලිපිටිය කඩදාසි කම්හල පසුගිය රජය විසින් විකුණා දමා ඇති අතර වාලච්චේන කඩදාසි කම්හල ද ඈවර කිරීම සඳහා 2019 වසරේ දී එවකට කර්මාන්ත ඇමැතිවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි.
පසුව මේ වසරේ ජනවාරී මාසයේ දී වත්මන් ඇමැති විමල් වීරවංශ මහතා විසින් එහි නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අතර එම කඩදාසි කම්හල ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය ඉල්ලා සිටියේය. ඒ අනුව රුපියල් මිලියන 800ක ණය මුදලක් යටතේ බහුවිධ සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මෙය නැවත ආරම්භ කිරීමට ඇමැතිවරයා සුදානම් විය. මේ ණය මුදල ලබා ගැනීමට නම් කම්හල නැවත නැඟී සිටිය හැකි බව පෙන්වා දිය යුතු බැවින් ඉතා අඩු වියදමින් මෙහි කටයුතු ආරම්භ කිරීමට ඇමැතිවරයා ඇතුළු බලධාරීහු විධිවිධාන යෙදූහ.
ඒ අනුව විවිධ අරමුදල් යොදා ගනිමින් යුද හමුදාව, නාවික හමුදාව සහ විදුලි, ජල ඇතුළු අංශවල දායකත්වය ලබා ගනිමින් ඉතා අවම පහසුකම් යටතේ මේ කඩදාසි සමාගම යළිත් සිය නිෂ්පාදන ආරම්භ කළේය.
“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් ආකාරයට ‘මේ රටේ තිබෙන හැකියාවන් නැවත උද්දීපනය කළ යුතුය’ යන්න, ක්‍රියාවෙන් පෙන්වූ හොඳම නිදසුනක් ලෙස ජාතික කඩදාසි සංස්ථාව නැවත පණ ගැන්වීම සුවිශේෂී වන බව“ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා එහිදී පැවසුවේය.