චීන සංචාරකයන් ලංකාවට ගෙන්වා ගැනීමට අවබෝධතා ගිවිසුමක්

(කොළඹ, ලංකාපුවත්) – විද්‍යුත් සංචාරක විසා ලබා ගැනීමේ ක්‍රමය (Electronic Travel Authority – ETA ) හරහා චීන සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා වීසා ලබාගැනීමට පහසුකම් සැලසීම සඳහා වූ අවබෝධතා ගිවිසුමක් ඊයේ (13) ආගමන විගමන දෙපාර්තමේන්තුව හා චීනයේ ට්‍රැවල්සෙන් අන්තර්ජාතික සංචාරක සේවා ෂැංහයි (Travelzen International Traval service (Shanghai) Co.Ltd ) සමාගමේ මෙරට නියෝජිත ආයතනය වන ට්‍රැවල්සෙන් දකුණු ආසියානු සමාගම (Travelzen South Asia (Pvt) Ltd) සමඟ අත්සන් කෙරිණි.

ශ්‍රී ලංකා ආගමන විගමන පාලක යූ.ඒ.සරත් රූපසිරි මහතා හා ට්‍රැවල්සෙන් අන්තර් ජාතික සේවා (ගිණිකොණදිග ආසියාව) සමාගම වෙනුවෙන් එහි සභාපති කමල් රත්වත්තේ සහ එම සමාගමේ විධායක අධ්‍යක්ෂ සුදේශ් කොලොන්නේ යන මහත්වරුන් අත්සන් කළහ.

මෙම ගිවිසුම ක්‍රියාත්මක වීමෙන් අනතුරුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ සඳහන් විද්‍යුත් සංචාරක වීසා ලබා ගැනීමේ ක්‍රමය, ට්‍රැවල්සෙන් අන්තර්ජාතික සංචාරක සේවා ෂැංහයි සමාගමේ වෙබ් අඩවිය හා සම්බන්ධ වේ. එම සමාගමේ වෙබ් අඩවියට පිවිසීමේ දී ඉතා පහසුවෙන් චින ජාතිකයන්ට තම මව් භාෂාවෙන් වීසා තොරතුරු ලබා ගෙන අයදුම්පත්‍ර සම්පුර්ණ කර එමඟින් තම වීසා බලපත්‍රය ලබා ගැනීමේ පහසුකම් මෙයින් සැලසේ.

වාර්ෂිකව විශාල ප්‍රමාණයක් චීන සංචාරකයන් ලංකාවේ සංචාරය සඳහා වීසා අයදුම් කිරීමට උනන්දුවක් දක්වන අතර, භාෂාමය ගැටළු හේතුවෙන් ඉන් කොටසක් එම උත්සාහය අත්හැර දමති. තම මව් භාෂාවෙන්ම වීසා අයදුම්කිරීමට මෙම ගිවිසුම ක්‍රියාත්මක වීමෙන් අනතුරුව ඉහල පෙලේ ධනවත් චීන සංචාරකයන් 700-800 අතර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට සංචාරය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙයට අමතරව සාමාන්‍ය චීන සංචාරකයින් මසකට 2000 ත් 3000 ත් අතර ප්‍රමාණයක් මෙම විසා ක්‍රමය හරහා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම් කෙරේ.

චීනයේ ඉහල පෙලේ ධනවතුන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ඇළුම්කම් දක්වන හෙයින් ඔවුන් මෙරට සංචාරය කිරීමේදී විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළට ගලා එන බැවින්, රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලැබේ. දළ වශයෙන් එවැනි ධනවත් සංචාරකයින් දිනකට ඩොලර් 1000 ත් 2000 ත් අතර ප්‍රමාණයක් වියදම් කරන බැවින් සංචාරක ක්ෂේත්‍රයේ සෘජු හා වක්‍ර ලෙස සම්බන්ධ වන සියළුම පාර්ශවයන්ට විශාල ආදායම් උපයා ගැනීමේ මාර්ගයක් ද ජනිත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *