අවශ්‍ය ඖෂධ මෙරට නිපදවා විදේශ විනිමය ඉතිරි කර ගන්නවා

(කොළඹ, ලංකාපුවත්) –අධි තාක්ෂණය භාවිත කර අවශ්‍ය ඖෂධ මෙරට දී නිෂ්පාදනය කිරීම මඟින් ඒ සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි කර ගැනීමට පියවර ගන්නා බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (17) පැවැසීය.

ඉදිරි වසර පහ තුළ ඖෂධ අපනයනය කෙරෙන ප්‍රධාන රටවල් වන අයර්ලන්තය ඊශ්‍රායලය හා සිංගප්පූරුව මට්ටමට ශ්‍රී ලංකාවත් ගෙනෙන බව හෙතෙම කීවේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන මැති ඇමැතිවරුන් හා රජයේ නිලධාරීන් සමඟ අරලියගහ මන්දිරයේ ඊයේ (17) පැවැති සාකච්ඡාවේදී බැසිල් රාජපක්ෂ මහතා එසේ කියා සිටියේය.

ඉදිරි වසර 5 ඇතුළත මෙරට ඖෂධ අවශ්‍යතාවය සපුරාලන බවත් අපනයනය ඉලක්ක කරගෙන නිෂ්පාදනය ඉහළ නැංවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවත් සභාපතිවරයා පැවැසීය.

බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

දේශීය ඖෂධ අවශ්‍යතාවයෙන් 85ක් ම විදේශයෙන් ගෙන්වීම සඳහා මේ වන විටත් රජය අතිවිශාල පිරිවැයක් දරනවා. දේශීය අවශ්‍යතාවට සරිලන අයුරින් සහ අපනයන ධාරිතාවයෙන් යුත් කර්මාන්තශාලා පෞද්ගලික ආයෝජකයන් මඟින් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් සිටිනවා.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීම සඳහා දැවැන්ත ජනවරමක් ලබා දුන් ජනතාව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැහැදිලි වෙනසක් අපේක්ෂාවෙන් සිටිනවා. එම වෙනස උදාකිරීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ආයතනවල සහ අපනයන ක්ෂේත්‍රයට අදාළ ආයතනවල සහාය බලාපොරොත්තු වෙනවා.ඇඟලුම් අපනයන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටි ශ්‍රී ලංකාවට ඒ වෙනුවට ඉදිරි වසර පහක කාලය තුළ ඖෂධ අපනයන ක්ෂේත්‍රය තුළින් ඉදිරියට පැමිණීමේ හැකියාව තිබෙනවා.

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියමානය පිළිබඳ රාජ්‍ය ඇමැති, මහාචාර්ය චන්න ජයසුමන, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ, ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්ම මහත්මීන් ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *