ජාතික යොවුන් සේනාංකය හා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය අතර ගිවිසුමක්

(කොළඹ, ලංකාපුවත්) –නීති විරෝධී මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තරුණ ප්‍රජාව මූලික පුනරුත්ථාපන, ප්‍රතිකාර සහ පෞරුෂ සංවර්ධන පුහුණු වැඩසටහන්වලින් අනතුරුව සමාජගත කිරීම පිළිබඳ ද්විපාර්ශවීය සහයෝගී අවබෝධතා ගිවිසුම,ජාතික යොවුන් සේනාංක සභාපති කර්නල් දර්ශන රත්නායක හා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා එක්ව අත්සන් තැබීම පසුගියදා (14) ජාතික යොවුන් සේනාංක මූලස්ථානයේ දී සිදු විය.

ජාතික යොවුන් සේනාංක ඉතිහාසයේ ප්‍රථම වරට මෙවන් වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ජාත්‍යන්තරව පවා මුල් තැන දෙන මෘදු කුසලතා සංවර්ධනය තුළින් ලංකාවේ දැනට ඇති ප්‍රමුඛතම ජාතික ආයතනයක් ලෙස ජාතික යොවුන් සේනාංකය හඳුනාගත හැකියි. රටේ අනාගතය වෙනුවෙන් රටේ යහපත වෙනුවෙන් තබනු ලබන මුල් පියවරක් ලෙස හඳුනාගනු ලැබූ මෙම අවස්ථාව ජාතික යොවුන් සේනාංකයට ලැබීම නව අත්දැකීමක් සහ නව හැරවුම් ලක්ෂයක් බවට පත්විය.

මත්ද්‍රව්‍ය නිවාරණය ගැන කථා කලාට, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් එයින් ගලවා ගන්නට කතා කළාට නිසි වැඩපිළිවෙලක් මින් පෙර නොතිබුණු බවත්, ඒ නිසාවෙන් රටේ මේ තරම් දුරට මත්ද්‍රව්‍ය ව්‍යසනය ව්‍යාප්ත වූ බවත් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම සඳහා සහභාගී වූ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා පවසන ලදී. සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, පාසල් හැරයන තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමෙන් ගලවා ගන්නේ කෙසේද යන ගැටළුවට විසඳුම් සෙවීමේ දී , එයට සම්බන්ධ කරගත යුතු හොඳම රාජ්‍ය ආයතනය ජාතික යොවුන් සේනාංකය බව පෙනී ගිය බවයි.

දරුවෙක් පාසලෙන් එළියට එනකොට පෞරුෂ වර්ධනය සකස් වෙලා තිබුණානම් මේ ගැටළු පැන නගින්නේ නෑ. රටේ අවාසනාවකට පාසල් ක්‍රමවේදය තුළ වසර 13ක් ගත වුවත් පාසලෙන් එළියට එනකොට දරුවාගේ පෞරුෂ වර්ධනයක් තමන් තුළම ගොඩනැඟෙන්නේ නෑ. මෙය අධ්‍යාපන ක්‍රමයේ දුර්වලතාවයක්. එක් එක් රජයයන් පත්වෙනකොට,සමහර අවස්ථා වලදී පුහුණුවීම් ලබා දෙනවා. ඉලක්ක ළගා කරගන්න කියාදෙනවා. නමුත් ඒවා විධිමත් ලෙස ක්‍රියාවට නැංවීමේ දී ප්‍රායෝගික ක්‍රියාපටිපාටීන් අනුගමනය කිරීමක් දක්නට ලැබෙන්නේ නෑ.

වර්තමානය වෙනකොට කර්නල් දර්ශන රත්නායක මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික යොවුන් සේනාංකය රටටම සම්පතක්. අද වන විට යොවුන් සේනාංකය ලංකාවම සිසාරා නිසි ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක වෙමින් පවතින්නක්. එහිදී ප්‍රධාන ලෙස පෞරුෂ වර්ධනය හා මෘදු කුසලතා ඔප්නංවන තරුණ පිරිසක් ගොඩනැංවීමේ භාරදූර වගකීමට උරදෙමින් සිටිනවා. අපි හදන්නේ තරුණ පරපුර. තරුණ පරම්පරාවට කුසලතාවය පමණක් ලබා දීම ප්‍රමාණවත් වන්නේ නැහැ. මේ කියන මත්ද්‍රව්‍ය කියන ව්‍යසනයෙන් තරුණ පරපුර මුදවා ගන්න නිසි වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු වෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මට අනුව එහි වගකීම පැවරී ඇත්තේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයටයි. එහිදී මෙම තරුණයින්ගේ කුසලතාවයන් ඔප්නංවන්නට ජාතික යොවුන් සේනාංකය අප සමඟ අත්වැල් බැඳගෙන ක්‍රියා කිරීමමෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට වඩාත් උපයෝගී වෙනවා. මේ ආයතන ද්විත්වය එක්ව එක් අරමුණක් සහිතව ක්‍රියාත්මක වීමේ දී පමණයි මේ ජාතික ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් ලබා ගත හැකි බව දැඩි විශ්වාසයකින් යුතුව ප්‍රකාශ කරන බව ද, මේ වැඩපිළිවෙල නිසි පරිදි ක්‍රියාවට නංවන්නේ නම් කුමන හෝ කුසලතාවයක් රහිත තරුණයෙකු හෝ විරැකියාවෙන් යුත් තරුණ ප්‍රජාව අවම වන කර ගත හැකි බව ද අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපතිවරයා පවසන ලදී.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගි වූ ජාතික යොවුන් සේනාංක සභාපති කර්නල් දර්ශන රත්නායක මහතා පවසා සිටියේ, මෙම අවස්ථාවට එක්වීමට ලැබීම ආයතනයක් ලෙස ලැබූ විශාල ගෞරවයක් බවයි. ලංකාවේ තරුණයාට සිදු වී ඇති ලොකුම හානිය තමයිතම තමන් පිළිබඳ වෙන් වෙන් වශයෙන්කොටස් බෙදාගෙන සිටීම. ඒ වගේම තමයි රාජ්‍යයාන්ත්‍රණය තුළ රාජකාරී කිරීමේ දීත්එම ආයතනයටම වූ රාමුවකට පමණක් සීමා වී කොටු වී සාමුහිකව වෙනත් ආයතන සමඟ සම්බන්ධ වී රාජකාරී කිරීමේ කාර්යයෙන් ඉවත් වී සිටිනවා. 2500ක ප්‍රෞඪ ඉතිහාසයක් සහිත ජාතියක් වන අප සම්ප්‍රදායිකත්වය නමැති බැඳීම තුළ සිරගත වී තුන්වන ලෝකයේ රටක් ලෙසටම තවමත් පෙනී සිටිනවා. සහසම්බන්ධතාවයන් රහිතව ක්‍රියාත්මක වීම තමයි මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ. රාජ්‍ය යාන්ත්‍රණය සකස් වී ඇත්තේ රටේ සියලු පුරවැසියන්ගේ අවශ්‍යතාවයන් ඉටු වන ලෙසයි. තරුණයන් වෙනුවෙන්ම වෙන් වූ ආයතන තිබෙනවා. ඔවුන් වෙනම වැඩ කරන්න උත්සාහ කරනවා. වෙනත් ආයතන ඔවුන්ටම ආවේණික ලෙස ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරනවා. නමුත් මෙම ක්‍රියාවලිය එක් යාන්ත්‍රණයක් තුළ, එක් අරමුණක් කරා එකට එක්ව යා හැකි නම් අප රට පවතින තත්ත්වයෙන් ඉහළට ගමන් කරනවා දැකිය හැකි වෙනවා. මතුපිට සකස් කිරීම, අවබෝධතා ගිවිසුම් ඕනෑතරම් අත්සන් කළ හැකි වුව ද එය ක්‍රියාවට නැංවිය හැකි වන්නේ සියල්ලන්ගේම සහයෝගය ඇතිවය.

මෙම වැඩසටහන වෙනුවෙන් කටුනායක ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය අදාළ පුහුණු කිරීම් කටයුතු සඳහා පූර්ණ කාලීනව වෙන් කරනු ලබන අතර, මෙම වැඩසටහන දීප ව්‍යාප්ත කරමින් සෑම දිස්ත්‍රික්කයකටම එක් පුහුණු මධ්‍යස්ථානයක් මෙකී පුහුණු කටයුතු සඳහාම වෙන් වූ මධ්‍යස්ථානයක් ලෙස පිහිටුවිය හැකිනම් එය මහඟු සත්කාරයක් විය හැකි බවත්, රාජ්‍ය යාන්ත්‍රණය තුළ රටට වග වෙන ආයතන දෙකක් එක්ව, එකම අරමුණක් ඔස්සේ සහයෝගයෙන් කටයුතු කිරීම තුළින් රටට වැඩදායී පුරවැසියෙක් බිහි වන බවත්, රටේ තරුණයා වර්ග කිරීමකින් තොරව පෞරුෂ වර්ධනයෙන් හා මෘදු කුසලතාවයෙන් පරිපූර්ණ තරුණයෙකු බිහි කිරීමේ වගකීම ඉටු කළ හැකි බවත් ජාතික යොවුන් සේනාංක සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ජාතික යොවුන් සේනාංකයේ අතිරේක අධ්‍යක්ෂ ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය හා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *