අගමැති මාධ්‍ය ලේකම් තනතුරට රොහාන් වැලිවිට

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත‍්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස, ප්‍රවීන මාධ්‍යවේදී රොහාන් වැලිවිට මහතා පත්කර තිබේ.

රොහාන් වැලිවිට මහතා,අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා අතින් ඊයේ(18) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහන් කළමනාකාරහා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කරනු ලැබූ ප්‍රවීන මාධ්‍යවේදී රොහාන් වැලිවිට මහතා 2000 වර්ෂයේ දී ඉන් ඉවත්ව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය උපදේශක ධූරයට පත්විය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2000 වර්ෂයේ ධීවර අමාත්‍යවරයාව සිටි සමයේ එතුමාගේ මාධ්‍ය උපදේශක ලෙස කටයුතු කරනු ලැබූ රොහාන් වැලිවිට මහතා,මහින්ද රාජපක්ෂ මහතා පළමුවර විපක්ෂ නායක ධූරය දරන කාලයේදී ද එතුමාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබීය.

2004 වර්ෂයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් ලෙස හා 2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කළ ඒ මහතා, 2015 සිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නැවතත් විපක්ෂ නායක ධූරය දරන කාලයේදී ද එතුමාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරන ලදී. එමෙන්ම, 2018 වර්ෂයේ පත් වූ දින 52 ආණ්ඩුව තුළ අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් වරයා ද විය.

2019 වර්ෂයේ පත් වූ නව රජය යටතේ, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානීගේ මාධ්‍ය ලේකම් ධූරය ද රොහාන් වැලිවිට මහතා හෙබවීය.

ඒ මහතා වර්තමාන අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ලෙස මේ මස 18 දින සිට සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කළේය.
චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයකු මෙන්ම ගත්කතුවරයෙකු වන රොහාන් වැලිවිට මහතා, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *